Saturday, April 12, 2014

ජිවිතයට හිරගෙයක්!



ඔබ හිරගෙයක කොටු වෙන්න කලින් මදකට දැනුවත් වෙන්න
විවාහය උගුලක්
ගැහැණියක් විසින් ඔබ උගුලට හසු කර ගනිවී.
ඔබ විසින් ගැහැණිය උගුලට හසු කර ගනිවිී. 
එවිට ඔබ දෙපලට එකින් එක
වධයට, හිංසාවට,
පමුණුවා ගන්නට සදාකාලික අයිතිය නීතියෙන් ලබා දෙන
විවාහය සමාජය තුල බිහිවන්නේ
මිනිසා ආදරය කරන්නට 
හෝ
මිත්‍රත්වය රකින්නට
හෝ
අසමත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන්.
විවාහය ආදරයට ආදේශකයක් නොවේ.
එය හරිම දුප්පත් විකල්පයක් පමණයි.
ඔබ කවරෙකුට හෝ ආදරය කරනවා නම්,
එය නීත්‍යානුකූල කොන්ත්‍රත්තුවක්
කර ගන්න ඕනේ නැහැ.
නීතිමය කොන්ත්‍රත්තුවක් මගින්
සහතික කරන්න බැහැ, 
ඔබ හැම විටම
ඒ පුද්ගලයාට ආදරය කරන බව,
නීතියම කොන්ත්‍රත්තුවකට
ආදරය මත කිසිම බලයක් නැහැ.
විවාහය නීතියෙන් පිළිගත් කොන්ත්‍රත්තුවක්,
ඒක අයිතිකාරකමක්,
පුද්ගලික දේපල අයිතිකාරකමක්ම තමයි,
ඒක බලපත්‍රයක් - ඔබ අයිතිකාරයා.
මෙය හොදින්ම කියා පාන්නේ
එතැන ආදරය නැති බවයි.
නීතිය පැමිණෙන්නේ
එතැන ආදරය නැතිවී ගිය විටදි පමණයි.
එහෙම නොවන්න
ආදරයට ආදරය ප්‍රමාණවත්

---- ඕෂෝ ----





Tuesday, March 18, 2014

මග හරින සත්‍යය



ඔබ ඉදිරියට තබන අඩියක් පාසාම කවුරුන් විසින් හෝ ඔබව බිය ගනවනු ලබනවා. එක තත්වය හෝ ව්‍යවහාරය යැයි භාර ගැන්මට අපි හැමවිටම පෙළඹෙමින් සිටිනවා. නමුදු ඔබට හැකි වුණා නම් ඔබේ ධෛර්්‍යය එක් නිමේශයකට හෝ අත්හදා බලන්න ඔබට සතුටක් දැනේවී. අවිනිශ්චිත අනාගතයක් වුවත් ඔබට සතුටක් දැනේවී. ඒ නිදහසේ වින්දනය ඔබේ සිත පතුලටම දැනෙන මොහොතයි. අපි විසින්ම තනා ගත් අර්ථ බොහෝමයකට මැදිව අපි ජිවිතය විනාශ කර ගනිමින් හිදිනවා. 

ඔයා මට ආදරේද කියලා ආයේ ආයෙමත් අහන්න සිද්ධ වෙන තැනත් එතැනමයි වෙරෝනිකා.....
ඔයාගේ ආදවන්තයාගේ හිත තුල කිසිදු නිදහසක් වින්දයක් නැතිව ඔයාට බැහැ ඉස්සර වගේ කිසිදු දෙයක් ඒ විදහටම බලාපොරොත්තු වෙන්න. බොහොමක් මිනිසුන් සරළ රේඛාවක් දිගේ ඔහේ ගමන් කරමින් සිටිනවා. ඔවුන් ඉපදෙනවා, වැඩිවියට පත්වෙනවා, කසාද බඳිනවා, ළමයි හැදෙනවා, වයසට යනවා, ළමුන් රැකබලා ගනියි කියලා හිතනවා...... අතිශය සාමාන්‍ය මේ පෙළ විතරක්ම උල්ලංගණය කිරිමෙන් පමණක් ඔයාට ඔයාගේ විමුක්තිය මුණ ගැහෙන්නේ නැහැ. ඒ පෙළින් පිට පැනීමත් එක්ක ඔයාට සිද්ධ වෙනවා ඔයා මොන වගේ කෙනෙක්ද කියලා හිතන්න. මං හිතන්නේ දෙපාරට වඩා වැඩි වාර ගණනක් ඔයාට සිද්ධ වෙනවා හිතන්න. ඔයාට ඔනේ මහාප‍්‍රාණික ආදරයක් නම් ඔයාට සිද්ධ වෙනවා මිටින් අල්ලාගෙන සිටින ඔහුගේ ජිවිතය අත්හරින්න, ඔහුට යන්න දෙන්න, නිදහසක් දෙන්න, ආදරය බූමරංගක් සේ එවිට ආයෙමත් ඔයාව හොයාගෙන ඒවි..... අළුත්ම අළුත් විදිහට.  


බොහෝ ප‍්‍රථාපවත් මිනිසුන් සම්බන්ධතාවන් ඇතුලේ දියවෙලා යන්න පටන් ගන්නවා. ඒ ඇයි කියලා ඔයා නිකමටවත් හිතලා බලලා තියෙනවද ?

අපිට කලින් නිර්මිත කර ලද අර්ථයක් ඇතුලේ හදලා දීලා තියෙනවා බෙදා ගැනිමක් කියලා. එත් ඔයාට බෙදා ගන්න ඔයා ලග තියන්නේ මොනවද කියලවත් දන්නේ නැතුව නිකම්ම නිකං ශාරීරික ගණුදෙණුවක් ඇතුලේ හිර වෙලා ඔයා දියවෙන්න පටන් ගන්නවා. පේ‍්‍රමයක් ඇතුලේ නිදහසක් හොයන්න. එවිට ඔයාට තටු ලැබේවී ඔහුගේ පරාදිසයේ හැම අස්සක් මුල්ලකම පියාසර කරන්න.





Tuesday, January 28, 2014

හිස්තැනක්_____________________


වැහි බිදු එකිනෙක මා වටලාගෙන හෙමෙන් හොරෙන් වැටෙන්නට විය. මම ඒ වැහි බිදු නොපෑගෙන්න ඈත් මෑත්ව අඩි තබමින් ගමන් කළේමි. වැහිබිදු මගේ ගමනට බාදා පමුණනාවාට මං දැං කෙහෙත්ම කැමති නැත. නමුදු මට වඩා ඉක්මණින් වැහි බිදු මා වටලා ගනිමින් සිටියි. එක දෙක බිංදු මගේ නළලත මත පතිත වන්නේය.මම හුන් තැනම නැවතුණෙමි. වැහි බිදු ටක් ටක් හඩ නගමින් මගේ නළලත පතිත වන්නට විය. රූරා වැටෙන ඒ බිදු කාළකට පසු මගේ දෙකම්මුල් තෙත් කරමින් කොපුල් තල තෙතමාත්තු කළේය. වැහි බිදුවලට රිසි සේ මගේ නළලත මත වැටෙන්නට මම හිස කළු ආකාසය දෙසට හැරෙව්වෙමි. මොහොතකින් මගේ මුළු මුහුණම වැසී යන්නට පුංචියට ඇද හැළුණු වැහි බිදු අනෝරා වැස්සක්ව වටව මගේ මුළු සරුවාංගයම තෙතර බරිත කලේය. මම  දෑස් පියා ගතිමි.

ඔයාට මතකද වැස්සේ නටපු අතීතයක් අපිටත් තිබුණා. ඔයාගේ මුළු ඩෙනිම් කලිසමම තෙත් වෙලා යනකං අපි වැස්සේ තෙමුනා. එච්චර තෙමිලත් ඔයා කලිසමේ කකුල් දෙක නවාගෙන මඩකඩිති පුරා පැන පැන උන්නේ. මම ඔයාගේ පුංචි කුඩය යටට වෙලා ඔයාගේ හැම ඉරියව්වක්ම නිරික්ෂණය කරමින් උන්නේ. ඔයාගේ පිස්සුවට මම කොච්චර ආදරය කලාද?? ඔයාට මතකද අපිට එහෙම අතීතයක් තිබුණා. නැහැ ඔයාට එහෙම මතකයක් නැහැ.  එහෙම අතීතයක් අපිට කිසි දිනෙක තිබි තිබුණේ නැහැ. මේ මම, මේ මොහොතේදි දකින සිහිනයක්. ඔයාව ලගට තුරුළු කරන් මෙහෙම වැස්සේ තෙමෙන්න සදාකාළිකව මගේ හිතේ තිබුණු හීනයක්. කිසිදිනෙක මවිසින් සඵල නොකර ගත් හීනයක්. මම කිසි දිනෙක ඔයාට කියලා නැති හීනයක්. අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාළයකදී ඒ හීන ඔක්කෝම සඵල කර ගන්න බැහැ තමයි. මම හිතුවේ මුළු ජිවිත කාළය පුරාවටම ඔයාව මගේ අනෙක් පසින් තියාගෙන වෙනස් වෙනස් විධියේ ප්‍රේමයන්ගෙන් ඔයාව සිප ගන්න.

මම දෑස් විවර කළේමි. මේ අහසටත් නොකියාම මේ වැස්සටත් නොකියාම මේ පොළවටත් නොදෑනීම මගේ හිතටත් හොරා ඔයා ඈතක ඉගිලා ගිහිං. මම උණ සන්නිපාතය හැදෙනකං මේ වැස්සේ තෙමෙන්නද? මට මානසික ව්‍යාධියක් ඇතැයි සිතා කවුරුන් හෝ මාව මානසික රෝහලට ගෙන යන තෙක් මෙහෙම වැස්සේ තෙමෙන්නද? මගේ දෙකම්මුලෙන් රෑටා එන වැහි බිදුවක් මම දිව අගින් රහා බැලුවෙමි. එහි පදමට ලුණු රස ඇත. අහස පුරා විසිරි පැවති වැහි වළාතුළු මගේ ඇස් උඩම පායලා. කාළයකට පසු මට රිසි සේ මා තුල වු වේදනා සියල්ලක්ම පිට කර දැමිය හැක. දිවා කල වෙස් මුහුණක් පළදාගෙන මුළු ලෝකයක් රවටමින් දේශපාලනයල කලාවල සමාජය හොරකම් අරවා මේවා ගැන විවිධ කතා බහා කරමින් දිවා ආලෝකය මග හරින මට, මා තුල ඇති වේදනා සියල්ලක්ම පහව කරන්නට මේ වෙලාවයි. මේ ගණ කළුවරේ මා කවුදැයි සොයන්නෙකු නැත. මේ අනෝරා වැස්සේ මට සරණ වන්නට දිව එන පිංවතෙක් නැත. මේ මගේ මොහොතයි. හැම රාත්‍රියක අග හීනෙන් දොඩවා බිය වී නැගිටින මගේ ආතතීය මග හැර ගැනීමේ වෙලාවයි. 

වෙ   රෝ   නි   කා .............................................................


මම වර්ෂාවේ ශබ්ධය පරායා යන්නට කෑ ගැසුවෙමි. මේ අහස ඉරාගෙන ඔයා ඉන්න තැනකට ඇසෙන්නට කෑ ගැසුවෙමි. තාවකාලික දේවල් වලින් යටපත් කර ඇති මගේ හිත පැලී යන්නට මම කෑ ගැසුවෙමි. ඔයාට ඇහෙන්නේ නැහැ මට තේරෙනවා. චීන මහා ප්‍රකාරයටත් වැඩිය ලොකු සංකල්ප තාප්පයකින් ඔයාව වට කරලා තියෙන්නේ. සම්බන්ධතා කියන මතවාදි අල්ලසින් ඔයාව බැදලා තියෙන්නේ. එත් වෙරෝනිකා බර්ලීන් තාප්පය බින්දේ ආදරණිය මිනිස්සු කියලා කෙහේ හරි ඔයා කියවලා තිබ්බේම නැද්ද??? 

මේ වගේම කළුවර වැඩි දවසක ඔයා ඉගිල්ලිලා ගිහිං තිබුණා මටත් හොරා. මම තවම ඔයාට ආදරය කරන්න පටන් ගත්තා විතරයිනේ...... මම තවම ලැහැස්ති වුණා විතරයි..... එක එක ඉරියව්වලින් ඔයාට ප්‍රේම කරන්න. මම දන්නවා මම දන්නවා.......මං වගේ පිරිමියෙක් ගැන විශ්වාසය තියන්න හොද නැති විත්තිය. එහෙම විශ්වාස කලාම අවසානයේදී ඔයාට ඉතුරු වෙන්නේ වේදනාව විතරක්ම බවග එත් වෙරෝනිකා......... මම බරටම ඔයාට ප්‍රේම කරමි. මම ඔයාගේ දෙකොපුල් වල චමත්කාරයෙන් වික්ෂිප්ත වී හිදිමි. මේ සත්තමයි.........   ඔයාගේ ඒකාක්ගතාවයක් නැති ප්‍රේමය වරකට තුන් පාර බැගින් හැම නිමේෂයේදීම මාව උස්සලා පොලවේ ගහනවා. ඔයා දැනං උන්නද මාව කෙතරම් තෘප්තිමත් තිගැස්මක පත් වුණාද ඔයා මගේ ඇග උඩ නැගලා මගේ ෂර්ට් කොළරයෙන් අල්ලගෙන වකුටු වෙලා මාව සිප ගනිද්දී.... ඔයා දන්නවාද ඒක කෙතරම් අල්හාදයක් මට ඇති කලාද කියලා?? මගේ ආලය වචන දිගේ ඔයා ලගට ගලාගෙන එද්දි කිසිම තක්සේරුවක් නැතිව ඔයා වචනයෙන් වචනය මගෙන් ප්‍රශ්ණ කරද්දී..... ඔයා දන්නවද මට මාව හොයා ගන්න අයේමත් අළුතින්ම හිතන්න වුණා??? පුංචි පරිමාවක හිටිය මාව ලෝකයක් කලේ ඔයා...... ඔව් ඔයා...... ජිවිතේ වැ‍රදෙමින් වැරදි මාවත් වල යමින් අවසානයේ මට හමුවුණා තිතක්.... ඒ නවතින් නෙවෙයි....... ජිවිතේම ප්‍රේම කරන්න...... ප්‍රේමයක් ඇතුලේ දිය වෙන්න. මං බලා උන්නේ ප්‍රේමයට පණ දෙන්න. එත් ප්‍රේමය ඇවිත් මට පණ දුන්නා. අළුත් මිනිහෙක්ව මං ජිවත් වෙන්න උත්සහා කලා. 

වෙරෝනිකා...........
ඔයා ගිහිං........ මාව අත්හැරලා දමල ගහලා හිතුවක්කාර විදිහට ඔයා ගිහිං........ අතින් ඇදලා නවත්වන්නවත් මම ඉදිරිපත් වුණේ නැහැ නේද...?? ඇදලා අරං බලෙන් සිප අරගෙන ආදරෙන් යන්න එපා කියන්න මං හිටියේ නැහැ නේද...?? වෙරෝනිකා මං කොච්චර ආත්මාර්ථකාමියෙක්ද?? මං කොච්චර කුහකයෙක්ද?? මට ඔනේ වුණේ ඔයත් එක්ක නිදිවදින්න විතරක්මද? මට ඔයාව ඔනේ වුණේ මගේ තනිකම මකා ගන්න විතරක්මද? මට ඔනේ වුණේ ඔයාගෙන් බැබළෙන්න විතරක්මද?? එතකොට මං ඔයාට ප්‍රේම කරලම නැද්ද? එතකොට මං ඔයා ගැන හිතලම නැද්ද?? එතකොට මං ඔයාව මගේ මේ නපුරු පපුව මත තියාගෙන රැකබලාගෙනම නැද්ද?? ලෝකය කියන්නේ මායාවක් නම් මම දැං යථාර්තයට නැගිටින්න ඔනේ වෙරෝනිකා.......
මම මෙතෙක් කල් වෙලී උන් බොරුවෙන් මිදෙන්න මේ හොදම කාළයයි වෙරෝනිකා. ප්‍රේමය කියලා කියන්නේ ධනවාදයේදී තවත් හුවමාරු භාණ්ඩයක් පමණෙකැයි කියලා මං තෙරුම් ගන්න ඔනේ කාළයයි මේ වෙරෝනිකා.......

මම තවම උන්නේ දෑස් තදින් පියාගෙන අහස දෙසට නැඹුරු වු හිසින් යුතුවය. දැවැන්ත සුදු ආලෝකයක් මගේ ඇස් අතර එහේ මෙහේ දොලනය වනු මට දැනේ. විවිධ කටහඩවල් කිහිපයක්ද පසෙකින් මට යාන්තමින් ඇසේ. වෙරෝනිකා, ඒ බියකරු යථාර්තය නම් ඉතිං මට ඔයාව සදහටම මග හැරේවිද?? ඔයාගේ ප්‍රේමය මට කිසි දිනෙක ආයේ නොලැබි යාවිද?? මම තව තවත් තදින් දෑස් වසා ගෙනම උන්නෙමි.

පාළම මුදුනතින්
සද දිලෙයි
සව්දිය පිරෙයි 
මොහොතකට
ජිවිතය ගිළෙයි
මදු විත මත
දැං ඉතිං අමාවකයි

වැහී බිරමක්
ඇස් අගම නළියන කල
අන්ධකාරය මත
හිස ගසාගෙන හිදිමි
තොල් අගින් ගිලිහෙන
ඉකිබිදුම 
මධුවිත මත වැදී
ජිවිතය ඉල්ලයි
ආයේමත්
නුඹේන් 

එත් මේ අමාවකයි

නිකටින් දුමින් පැසවන
කල් ඉකුත් වී ගිය 
ප්‍රේමය
ඉඩෝරයක් කැන්දයි
රැයක දිග මත
නිදිවරව දිග ඇදී
අවසන් කවත් පබදමි
නුඹ නමට ම 

හෙට ඉදන් අමාවකයි

සිගරැට්ටුවක් අග
නිවී නිවී දැල්වෙන
දැල්වේවී අළු වන
මතක වැළකි
අඩක් හිස් වු 
විදුරුව තුල දිදුළන 
තරු පොකුරුකි
තරු අතර සැගව 
දුර ඈත යන
නුඹ ගැනමි සිතමි
ඒ නිසාමයි මේ අමාවක


මම දැස් හෙමෙන් විවර කළේමි. ඉහළින් පවතින යමකින් විහිදුවන සුදු ආලෝකය එක්වරම මට දරා ගත නොහැකිව මම නැවත ඇස් තද කර ගතිමි. යමෙකු මගේ කම්මුලට තට්ටු කිරිමෙන් මම ඇස් විවර කළේමි. සුදු ඇදුමින් සැරසුණු කඩිසරව එහේ මෙහෙ යන පිරිසකගෙන මා වට වී සිටියෙමි. මෙතෙක් පැවති එළිමහන් වර්ෂාව වෙනුවට සංවෘත කාමරයක ඇදක මම ලැග සිටිමි. ජිවිතය තේරුම් ගන්න මම වට පිට බැලිමි.

         කෝ වෙරෝනිකා................. කෝ වෙරෝනිකා.........

මම ඇද මත ඒ මේ අත දගලන්නට වීමි.

වෙ   රෝ   නි   කා .....................

මම කෑ ගැසුවෙම්. මගේ ශබ්දය හාත්පසම ගිගුම් දෙන්නට විය. නැවත නැවතත් මට මගේම හඩ ඇසෙන්නට විය. කටුවක් මගේ උරය විදගෙන ඇතුලට ගිලා බසියි. වේදනාවත් සමගම මම ඒ දෙස බැලුවෙමි. මා සිටින්නේ ගිලන්වය. ඔයාගේ නමින් හදවතේ පවතින වේදනාව තරම් වේදනාවක් කාටවත් පිටින් දෙන්න බැහැ ආයෙමත් මට........මට.......මම......... කළු පාට සංවෘත රාමුවක ගිලෙමින් හිදිමි. එත් කෙළවර පිහිටි අලෝකයේ උන්නේ ඔයා......... හිනා වීගෙන ම.....

මට කාළය ගැන හරි නිර්ණායකයක් දැං තවදුරටත් නැත. මා සිටින්නේ කොහේද? මා සිටියේ කොහේද? මා මෙතැනට ආවේ කොහොමද? යන්න පිළිබද මම කිසිත් නොදනිමි. මම සිටින්නේ පුද්ගලික රෝහලක් වැනි ස්ථානයක බව පමණක් මට පැහැදිලිය. දොරක් විවර කරගෙන පැමිනි හෙදියක් මගේ ඇදේ කෙළවර තිබු පත්‍රිකාවක් බලා පසෙකට වී මොනවදෝ කුරුටු ගායි.

    මිස්........
මම ආයෙසයෙන් වචන එළියට දැමුවෙමි.

 වෙරෝනිකා ආවේ නැද්ද.....??

ඇය තැතිගැන්මකින් යුතුව මා දෙස බලා උන්නාය. මදවේලාවක් එසේ සිටි ඇය ක්ෂණිකව කාමරයෙන් පිටව ගියාය. ඇය මට එතරම් බියවන්නට හේතුව කුමක්දැයි මම නොදනිමි. ඇය සමග ඊළගට කාමරයට පිවිසියේ දොස්තරවරයෙකි. ඔහු කුඩා ටොචයක් මගේ ඇස් වලට අල්ලමින් මා පරික්ෂා කරමින් හිදියි. නැවත පසෙක වු පත්‍රිකාව රැගෙන යමක් ලියා තබයි. 

    ඩොක්ටර්........
මම නවැත වරක් ආයාසයෙන් මගේ එකම ප්‍රශ්ණය දොස්තර වෙත යොමු කළේමි. 

 වෙරෝනිකා ආවේ නැද්ද......?

දොස්තර තෙමේ සෙමෙන් මා අසලට පැමිණියහ. 

කවුද මේ වෙරෝනිකා....??
මම ඔහු දෙසත් හෙදිය දෙසත් වරක් බැලුවෙමි.

මගේ බිරිද........

හ්ම්........ තාම කවුරුත් ආවේ නැහැ ඔයාව බලන්න......
ඔහුගේ ස්වරය යම් බැරූරම් බවක් විය. මදක් මා දෙස බලා සිටි ඔහු මගේ උරය තදින් අල්ලා මොහොතක් හිද පිටව ගියේය. හෙදිය මට ලබා දෙමින් තිබු සේලයින් බෝතලය මාරු කරමින් උන්නාය. ඇය හුරුබුහුටි චාම් ලක්ෂන ඇති තරුණියකි. ඇගේ ඇහි බැම මදක් ඝණව පිහිටා ඇති අතර ඇස් ආලේපණ නිසා ඇගේ මුහුණ වඩාත් කැපී පෙනෙන්නට විය. 

මිස්....... අද දිනේ කවදද....? මම කවදද මෙහේට ආවේ...?

ඔයා ඇවිල්ලා අදට දින හතරක් වෙනවාග අද 23 වැනිදා....
ඇගේ හඩ කරුණිකය. ආදරණිය. ලෙන්ගතුය.

අද වගේ දවසක තමයි මමයි වෙරෝනිකයි හොරෙන් කසාද බැන්දේ.

ඇය කරමින් හුන් වැඩය මදකට නවත්වා මා දෙස බලා උන්නාය. ඇගේ මුහුණේ අව්‍යාජ සිනහාවක් දක්නට තිබිණ. ඇය මා අසලට පැමිණ මගේ හිස සෙමෙන් පිරිමැද්දාය.


පස්සේ වෙලාවක මට කියන්නකෝ ඔයාගේ වෙරෝනිකා ගැන විස්තර ටිකක්. මමත් ආසයි ඔය තරම්ම වසානාව ඇති එයා ගැන දැන ගන්න.
මදකට හෝ ඇය මා අස්වසාලීමට සමත් විය. වැස්සත් මේ සෙලයින් සහිත ඇදත් අතර දුර මට මතක නැත. මට ඒ ගැන දැන ගැන්මටද උවමනාවක් නැත. වෙරෝනිකා..... මම මේ කොහේද ඉන්නේ, මම ඉන්නේ මැරෙන්න වැටිලද? එහෙම නැතිනම් මට වෙන අනතුරක් වුණාද? වෙරෝනිකා...... මං ඔයා ගැන සිහිනයක් දකියමිනුයි හිටියේ. එත් හිටි හැටියෙම මම ඇහැරෙන්නේ ඇදක් මත. මේ නිතර මා බිය වද්දන කටුක යථාර්තයද?

අදුර හෙමෙන් හෙමෙන් හාත් පසම ගිල ගනිමින් ඇත. කෙළවරක විවෘත්තව ඇති ජනේලයෙන් සිසිල් සුළගක් විත් මගේ කෙඩෙත්තු ගතිය මදකට හෝ නිවා දමමින් සිටියි. සුළගේ එහේ මෙහේ නටන ජනේල් තිරය අතරින් කෙළවරක් නැති අහස් ඉම රත් පාටින් බබළනු මට පෙනෙයි. මෙවන්ම වු සැදෑවක දින සියයෙන් හැදු පාළමක් යටදී මම ඔයාව සිප ගත්තා ඔයාට මතකද? යනෙන දෙනොදහකගේ වපර ඇස් තිබුණේ අපි වෙතටම නාභි ගත වෙලා. ඔයා මාව තල්ලු කරලා දලා මගේ ඇකයෙන් මිදිලා දිව්වා මතකද? එතැනින් ගිය හැට පැනපු අංකල් කෙනෙක් මට ඇහෙන නැහෙන ගාණට කිව්වේ වනචර හැත්ත කියලා. අංකල්ගේ ඇරියස් මගෙන් කවර් කර ගන්න හදන එකට මට අංකල් ගැන දුක හිතුනා. එහෙත් අද අපි කෙළවරක් හොයාගෙන ඇත. ඔයා මගෙන් ඈතටම පියාඹලා යන්න තිරණයක් අරං එක්කෝ මෙහෙම විදවන එක ඔයාට ඇති වෙලා වෙනත් වේදනා පථයකට ඔයා මාරු කරගෙන. එතැන් පටන් මම ඉබාගාතයේ සරන්නෙකු සේ සැරි සරන්නෙමි. මම යන අතක් ගැන මමද නොදැන උන්නෙමි. ඔයාට ලියපු කවි සීතලම රෑක ඔක්කෝම ගොඩ ගහලා ගිණි තියලා මම ගිණි තැපුවා. එතැන් ඉදන් මම ඔයාට ලියන එක නැවැත්තුවා. මගේ වචන වලින් වෙනත් ගැහැණුන් සන්තර්පනය ලබනවාට ඔයා අකමැති නිසාම මම මගේ හිත වාන් දා ගැන්ම අත්හිටෙව්වා. හිස් වෙච්ච ජිවිත මා ඉදිරියේ ලෙහා දමා මගේ වචන වලින් ඔවුන් ආයෙමත් ඔවුන්ගේ ජිවිතය පුරව ගනිමින් හිටියා. මම හිතුවේ එක පිං අතේ වැඩක් කියලා. එත් ඔයා කිව්වේ එක සල්ලාළකමක් කියලා. ඒ හින්දම මං පිං කරන එකත් නවත්වලා දැම්මා.

ගණ අදුරට යට වෙමින් තිබු මගේ කාමරයේ විදුලි ආලෝකය දල්වාගෙනම නර්ස් ඇතුලට ආවේ බෙහෙත් තැබු බන්දේසියක් අතැතිව ඇය නැවතුනේ මා අසලමය.

ඉතිං කොහොමද ඔයාට
මම මද සිනහවක් ආයාසයෙන් නංවා ගතිමි.

ඇයි ඔයා සිය දිවි හානිකර ගන්න උත්සහා කළේ.

මගේ ඇස් උඩ ඉන්දවිය. ඇය මේ කියන්නේ මොනවාද? මම එහෙම දෙයකට කිසිවිටෙක් නොපෙළඹුණෙමි. ඇය උන්නේ මගේ බෙහෙත් පිරික්සමිනි. මම දෙතුන් විටක් ඇගේ මුහුණ දෙස එක එල්ලයේ බලා සිටියද ඇය තම කාර්යයේම නිරත වී උන්නාය. 


මම එහෙම දෙයක් කර ගන්න හැදුවේ නැහැ.....
ඇය එක්වරම සිනහා වෙන්නට පටන් ගත්තාය. ඇගේ සිනහා හඩට මට යකා අරූඪ විය. ඒ බැව දැණිදෝ කොහේද ඇය ඒ වෙනුවෙන් මගේ සමාව ඉල්ලා සිටියාය.

ඒ වුණාට ඔයා පාළමකින් පල්ලෙහාට පනින්න උත්සහා කරන වෙලාවේ ඒක දැකලා තමයි මනුස්සයෙක් ඔයාව ඉස්පිරිතාලයට ගෙනත් ඇරවලා තියෙන්නේ. වෙලාවට ලොකු තුවාලයක් මුකුත් නැහැග කකුල තමයි.
මම ක්ෂණයකින් පොරෝණය මෑත් කර මගේ වම් කකුල දෙස බැලුවෙමි. විලුබේ සිට දණ හිස දක්වා එය වෙලා ඇත. වම් කකුලක් මට තියේනවාද කියා නොදැනෙයි. මම අතිශය කම්පාවකින් යුතුව ඇය දෙස බැලුවෙමි. ඇය ඉන්ජෙක්ෂන් කටුවක් ගෙන මගේ වම් අත පුළුන් කැබැල්ලකින් පිරිසිදු කර බෙහෙත් එන්නත් කලාය. 

බයවෙන්න එපා දවස් තුන හතරක් යනකං ඇදෙන් බහින් බැරි වෙයි.

ඇය බන්දේසියත් රැගෙන යාමට සැරසෙමින් උන්නාය.

මිස්....... වෙරෝනිකා දන්නවද මේ කිසි දෙයක්......???

තවදුරටත් ඇයගේ අව්‍යාජ සිනහාව මා වසග කරමින් සිටියි. ඇය ඇස් වලින් නැතැයි කියා දොර තදින් වසාගෙන නික්ම ගියාය.

සිහිනයකට එහා පැත්තේ යථාර්තය මුණ ගැසීම බරපතල හදිසි අනතුරක්. මම දිගු හුස්මක් හෙලා මගේ ලය සැහැල්ලු කර ගතිමි. මරණය කිසිවිටෙක් අපි අපෙක්ෂා කරන මොහොත තුලදී නොපැමිනෙන බැව් නම් මම දැං හොදා කාරවම දනිමි. 
එත් වෙරෝනිකා..... ඔයා තියපු හිස් තැනත් එක්ක මං දැං කල් ඉකුත් වෙන්න අරගෙන.








Monday, January 27, 2014

සිය දිවි නසා ගැනීම


මිනිහෙකුට අවශ්‍ය වෙලාවකදි මැරෙන්න වෙන්නේ අතිශය ම්ලේඡ්ච විදිහකට, එක ඇතුලේ මැරේන මිනිහට අත් වෙන්නේ ශාන්තියක් නෙවෙයි දැඩි වේදනාවක්. ඊට වඩා සුන්දර ක්‍රමයක් තිබුණා නම් මිනිහෙකුට සිය දිවි නසා ගන්න. මං කියන්නේ අයිතියක් ආගමික ඉගැන්වීම පසෙකලාපු තැනක්. ස්භාවධර්මය වෙත ආපසු යෑමක්. ලැජ්ජ බය වගේ මතු පිට කාරණා ඉස්මතු නොවන තැනක්. ඒක වෙනම වැඩක්!



අපි මේ ලොකේ ජිවත් වෙන්නේ අපි කලින් සැළසුම් කල උපාය මාර්ගික ක්‍රමයකට කියලා අපි මුලින් හිතාන හිටියට එක එහෙම නෙවෙයි. කලින්ම අපි වෙනුවෙන් නිශ්චිතව තනන ලද අත්තිවාරමක් මත, අපි කැමති වුණත් අකමැති වුණත් අපිට සිද්ධ වෙනවා ඒ අත්තිවාරම උඩ අපේ ජිවිතය නැමැති ගේ හදන්න. අපිව රවට්ටනවා ඒ අපේම එක තමයි කියලත්. තට්ටු ගණනාවක් ගහලත් කඩා වැටුණු ගෙවල් ඕන තරම් හොයා ගන්න අමාරු නැහැ. එත් කවුරුත් සොයා බලන්නේ නැත්තේ කලින් නිමවන ලද අත්තිවාරමක අපි හදන ගේ කොහොම එකක් වෙයිද කියන එක. ඒක මං මෙහෙම කියන්නම් ‍මිල මුදල් යහමින් තියෙන මිනිසුන්ට හොද වන සමහර දේවල් මිල මුදල් අග හිග මිනිසුන්ට නරක වෙන්නේ ඉහත කියු අත්තිවාරම හින්දා මයි. කුසල් අකුසල් මත අපගේ උප්පත්තියේ පැවැත්ම තිරණය වනවා කියන ආගමික න්‍යාය අපි මෙතැනදි අමතක කලොත් මිනිහෙකුට සිය දිවි නසා ගැනිමේ අයිතියවත් තමා විසින් නිර්ණය කල යුතුයි! එක ආයෙමත් ස්භාවධර්මය වෙත ආපසු යෑමක්. ඒක වෙනම වැඩක්!


වෙරෝනිකා....... 

මිනිස්සු මැරෙන්න තිරණය කරන්නේ පිටත පීඩනය තමා තුල දරා ගැනීමේ කාළ පරාසය ඉක්මවා යන කාලයක. ඔයා අහල තියෙනවද ආදරේ කල් ඉකුත් වෙනවයි කියලා, කල් ඉකුත් වන ජිවිතේ ඇතුලේ ආදරය එන්න එන්න තිරිහං වෙනවා. ජිවිතේ එන්න එන්න වයසට යන කොට ආදරේ එන්න එන්න තරුණ වෙනවා. එහෙම වෙන්න ඔයා තුල ආදරේට ඉඩක් තියෙන්න ඔනේ. ඔයාට එහෙම ආදරයක් දරා ගන්න උත්සහායක් තියෙන්න ඔනේ. හැම තැනකින්ම පැනලා යන මං වගේ මිනිහෙකුට නැති වුණත් ඔයාගේ ඇස් ඇතුලේ මං එහෙව් ශක්තියක් දකිනවා. 


වෙරෝනිකා........ 

මැරෙන්න යන මිනිහෙකුට උරහිසක් දික්කරන්න ඒ මිනිහා වරුවක් හරි අඩලා ඒ දුක තුනී කර ගන්නවා. ආදරේ කියන්නේත් අඩන්න උරහිසක් වගේම තුරුළු වෙන්නත් උරහිසක් වගේ තැනක්.! හැබැයි අවශ්‍යතාවයට විතරක් භාවිතා කරන දෙයක් නෙවෙයි, ඒ ඔයාගේ පැවැත්මේ ස්භාවය. ඔයාට වෙන සමහර විට ඉස්සෙල්ලා ම දන් දෙන්නා බවට පත්වෙන්න. කිසි දෙයක් නොලැබුණත් කාළයක් නිකම්ම නිකං බලා ඉන්න. 


වෙරෝනිකා......

මං හිටපු කළුවර වාට්ටුවෙන් එළියට පැනලා මං රෑට රෑට සද එළියේ ඇවිදිනවා, ඔයාව දැක්ක දවසේ ඉදන් මං හොරෙන් හොරෙන් ඔයා වටේ කැරකැවෙනවා. අන්තිමට උසම උස තාප්පෙන් පැනලා මං ඔයාව හොයා ගෙන එනවා. ඒ එන්නේ මැරෙන්න හිතාගෙන නෙවෙයි. එත් නොමැරෙයි කියලා හිතාගෙනත් නෙවෙයි. මැරෙන්න බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ වගේ චණ්ඩි කතා කිව්වට යක්කු ඉන්නේත් අපිත් එක්කමයි කියලා දැක්කම සොහොන හොදයි කියලා දැනෙන්න ගන්නවා. එත් වෙරෝනිකා......... ඇත්තටම මේ මොහොතේ මං ජිවත් වෙන්නේ ඔයාගේ ආදරයට තියෙන ලෝභකමට.......


ලොක්කෙක්ගේ පුතෙක් ලෝකෙට පේන්න රොකට් යවද්දි මං ඔයාට පේන්න අකුරු අමුණනවා.... ඒ ඔයා මගේ ලෝකයම නිසා.......... ලෝකයක් හොයා ගන්න බැරි වුණ මිනිස්සු ලෝකේටම පේන්න තවම එක එක දේවල් කරමින් ඉන්නවා. ආදරේ කියන්නේ සිය දිවි නසා ගැන්නමට වඩා අමාරු වැඩක්!!!



මේ මොහොතේදී මරණය කියන්නේ මම නම්, ප්‍රේමය කියන්නේ අනිවාර්යෙන්ම ඔයා!!! 





Sunday, January 5, 2014

ආදරෙත් එක්ක වයසට යන්න


දින සති ගෙවෙමින් අවුරුදු ඉගිල්ලෙනවා. අතීතයට මතක පමණක් ඉතුරු කරමින් අපි පරණ මිනිස්සු වෙමින් තියෙනවා. එතරම්ම වේගයෙන් ලෝකය ඉදිරියට ගමන් කරනවා, අපි ටික ටික වෙනස් වෙමින් වයසට යනවා. 

මිනිසෙකුට ජිවිත කාළය තුලදී ප්‍රේම සම්බන්ධතා කොපමණ තිබුණද ඔහුට ආත්මීය බද්ධ ප්‍රේම සබදතාවයන් තිබිය හැකිකේ එකක්ම පමණි. ඒ තරම් බැරෑරුම් වෙන්න ශක්තියක් එන්නේ තමන්ගේ ප්‍රේමයේ ඇති ඉඩ කඩ නිසාමය. නිදහස නිසාමය. ආදරය තමන් බවටම පත් වු විටක දී ආයාසයකින් තොරව තමන්ට හැකිවෙනවා විවෘත වෙන්න. ආදරය, එහිම ස්වරූප තේරුම් ගැනීමේදී යම් නිශ්චිත මොහොතක අපිට සිද්ධ වෙනවා ආදරය දිහා බලන්න ඉන්න. එසේ නොවන තැන්හිදි අපි හැල්මේ දුවම්න් ගොස් යම් නිශ්චිත මොහොතක ඒ ආදරය විනාශ කර ගන්නවා. එයට කියන්නේ සම්බන්ධතායන් කියා මිස ආදරය කියා නොවේ. ආදරය එහි තත්වයන්ගෙන් බාර ගැනීමට ඇති නොහැකියාව නිසාත් නොදැණුවත්භාවය නිසාත් අපි ජිවිතයේ බොහෝ පඹ ගාල් වල පැටලෙමින් අපි අපිවම සොයමින් සිටිනවා. එත් අන්තිමේදි අපි තුලම තිබු දෙයක් මිස පිටතින් කිසිවක් අපිට ලැබෙන්නේ නැත. 

බොහෝ ආදරයන් පවතින්නේ කොන්දේසි, නිති රීතින් හා කඩදාසි මතම පමණි. නමුදු විශ්වාසය නැති තැනකදී ආදරයට ඇති වලංගුභාවය කෙමෙන් දියවී යනවා. ඔබ අනෙකාව වෙනස් කරන්න ගන්න උත්සහාය තුලදීම ඔබට ආදරය මග හැරෙන්න ගන්නවා. හදිසියත් කෝපයත් විසින් ඔබට ඔබව මෙන්ම ඔබගේ ආදරයද ඔබට අහිමි කරමින් ඉන්නවා. 

ජිවිතෙන් හරි අඩක් පිස්සෙක් සේ ගෙවු මට ආදරය අරං ආවේ සිහිනමය බලාපොරොත්තුවක්. අවුරුදු ගණනක් ගෙත වෙලා ගියත් ආදරය කෙරෙහි ඇති ඒ උමතුමය තත්වය තවමත් ‍එලෙසමයි. දැං මං ආදරය කියලා හදුන්වන්නේ වෙරෝනිකාව..........



Monday, December 23, 2013

23 - ආදරයත් එක්ක අවුරුදු හතරක්


අද තරම් ග්‍රිස්මයක් තිබුණේ නැති වුණත් සීතලක් දෙහිතක් ඇතුලාන්තයේ ම තිබුණා. ඇත්තටම ඒ තිගැස්මේ ස්භාවයයි. ඒක ලොකු චැලෙන්ජ් එකක් ගන්නවා වගේ වැඩක් වුණාට අපේ බය නැතුවුණේම අපි අපි වෙනුවෙන්ම එකට හිටපු හින්දා. ජිවිතේ බේදාගැනීමේ ආරම්භය සනිටුහන් වුණේ එහෙමයි.

එක් මලානික දවසක්, හිරු ඇවිල්ලා හෝරා ගානක් වුණත් වළාකුළුබරිත නිසා ආලෝකයේ මලානික ස්භාවයක් තිබුණා. කිසිදු තිරණයක් නැතිව හිටි අපි හදිසියේම හදිස්සි තිරණ වලට එලඹේමින් තිබුණා. 

වෙරෝනිකා මගේම වුණා...........!!!

ඇය උන්නේ පිපෙමින්..... මගේ දිහාවට....
මං උන්නේ හින් සිරුවේ ඇය තුල මාව ඉන්දමින්..... 
දෙවිදිහක මිනිසුන් වු අපි ප්‍රේමය තුලදී එකිනෙකා අවබෝධ කර ගැනීමේ ශක්‍යතාවයෙන් පිරෙමින් තිබුණා. අපි ගමන් කරමින් හිටියේ පථයන් දෙකක වුණත් ප්‍රේමය ඇතුලේ අපිට එක ගමන් රේඛාවක් තිබුණා. වචන වලින් කියන්න බැරි බොහෝ දේවල් අපි හදුනගනිමින්, හුවමාරු කරමින්, බෙදා ගනිමින් උන්නා. 
වෙරෝනිකා ........
මගේ ලය මත ගුලි වෙමින් ජිවිතය පුරාවටම සැනසීම සොයමින් ඇගේ ජිවිතය මගේ පපුව මත තැබුවා. මම හෙමින් ඇගේ කොපුල් තල රස ගන්න වුණා. අඩවන්ව තිබු ඇගේ දෑස් වැසී ගියා. සැනසීමේ උන් ඇය පත්තුවෙන්න ගත්තා. හිමින් හිමින් ඇය මගේ පපුව උඩ දගලන්නට වුණා. 
හීන් කෙදිරියක්..............
හුස්මක් හගිමින්ඇය මගේ කනට හෙමින් මුමුණුවා.

මං ආදරෙයි.......... හැමදාම........!!!

වෙරෝනිකා අදත් මගේ පපුව උඩ ඉදන් මේක කියවලා හිනා වෙනවා...!!! ලැජ්ජාවට හුරතලෙන් මුහුණ වහා ගන්නවා. බොරු කෙන්තියක් එක්ක හාදු ඉල්ලනවා..............

ජිවිතේ කියන්නේ ආදරෙත් එක්ක එකතු වෙච්ච සිනහව වගේම කදුළු, සෝසුසුම් වගේම ඉවසීම්. එකක් පස්සේ එකක් හරියටම මෙහෙමයි කියන්න පුළුවන් රිද්මයක් නැති වුණත් ගොඩාක් දෙවල් කැකරමින් අපි ජිවිතයක් ගොඩ නැගුවා, අවුරුදු හතරක් පුරාවට මතයන් බොහෝමයක් පොදි බැදගෙන අළුත් වෙවි වෙරෝනිකා මගේ ඉස්සරහ හිනා වෙනවා.

මං ගැහැණියක් කියන්නේ වෙරෝනිකාට...... එක සුවිශේෂි තත්වයක්.........!!!


Monday, October 14, 2013

ගැහැණිය නම් මහද්වීපය


ගැහැණියක් කියන්නේ මහද්විපයක් නම් ඔබට සිද්ධ වෙනවා හොද සිහි කල්පනාවක් තියාගෙන ඇවි‍දින්නෙක් වෙන්න. මතක තියා ගන්න සිහි කල්පනාවෙන් ඉන්න. මොකද භූමිය හා එහි කාළගුණික විපර්යාස ගැන ඔබට අවබෝධයක් තිබුණේ නැතිනම් ඔබට සියල්ල මග හැරෙනවා. ඔබ නිකං විදේශිකයෙක් වගේ රවුමක් ගසා යන්නට යාවි. ඔබට සිදුවෙනවා හොද සිහියෙන් එහිම වු සුවිශේෂත්වය අභ්‍යන්තරයටම සොයා යන්න. 

ගැහැණියක් කොහොමත් පිරිමියෙකුට වඩා රස පරාසයකින් වැඩි. එක් එක් ගැහැණියට අනන්‍ය වු එක් එක් රස පරාස වෙන වෙනම දැකිය හැකි මුත්, බොහෝ රස පරාසයන් සොයා ගැන්මට ඔබට සිදුවෙනවා දිර්ඝ කාලීනව සිහි කල්පනාවක හා හොද ඉවසීමක රැදෙන්න. නමුදු මුළු ජිවිත කාළයේදීම ඔබ විසින් සොයා ගන්නේ ඉන් අඩකටත් අඩු ප්‍රමාණයකි. රස හදුනන්නන් විසින් ඒ ඒ රස වෙන වෙනම අත්හදා බලමින් ඒවා ගැහැණිය තුලින් මතු කර ගනු ලබයි. බොහෝ විට ගැහැණුන් පවා නොදන්න තමා තුල වු ඒ විභවය සොයා ගත හැක්කේම තවත් එක් රසවතෙකුටම පමණකි. ඔහු ප්‍රේමවන්තයෙක් සේ රොමෑන්තිකවද, සල්ලාලයෙක් සේ රාගිකවද, ආගන්තුකයෙකු සේ කරුණාවෙන්ද, ස්වාමියෙකු සේ වගකීමේන්ද ඒ රස සොයා ගත යුතුව ඇත. 

ඔබ හිතන්නේ නිකම්ම නිකං ගැහැණියගේ ශරීරය ගැන විතරයි. ඔව්..!! දැනටමත් ඔබ පි‍ලිස්සෙමින් සිටින රාග ගිණ්නට ඇය ඔසුවක් යැයි ඔබ සිතයි. නමුදු ඔබ රසක් නොහදුනන තාක් ඔබ ශරීර කියක් සමග සැතපී ඔසු සොයන්නනට වේදැයි ඔබම නොදනියි.  ඔබ තුල ඔඩු දුවන රාගික ගින්න විසින් ඇය තුල ඇති රසය සොයා යෑම වළකාලමින් තියෙනවා. ඉතිං ඔබට සිහියක් නැහැ, ඔබ ආතුර වුවාක් සේ ඒ ස්ත්‍රි ශරිරය මත ඒ මේ අත දගලමින් වෙහෙසෙනවා. නමුදු ඔබට කිසි විටෙකවත් රසයක් දැනෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකං ඔබගේ සිත රවටා ගැනිමක් පමණයි.  ඇගේ ශරීරය වගේම ඇගේ සිතත් ඇගේ චර්යා රටවනුත් ඔබ උකහා ගන්නා තුරු ඔබට ඒ රසය කළම්ඹා විදිනට නොහැකි වනු ඇත. යාන්ත්‍රික ජිවන හුරුපුරු හේතු කොටගෙන බොහො රස පරාසයන් ගැහැණියකගේ ගැඹුරුම තැන්වල සැගවෙමින් පවතිනවා. නමුදු රස සොයා යන්නෙකුට හැකි වෙනවා කැනීම් කර ඒ රස ඈ තුලින් උපද්දවා ගන්නට. අළුත්ම ද්විපයක් සොයා ගත් ගවේශකයෙකුට දැනෙන ආඩම්බරය හා සතුටින් ඔබ ප්‍රමෝදයට පත් වනු ඇත. ඔබගේ අත්‍යන්ත කැපවීමෙන් සහ වෙහෙසින් ඇය තුල ඇති රස ගුලාවත් ඔබගේ ධාරිතාවත්, ඔබ විසින් සොයා ගනු ඇත.