Thursday, February 23, 2012

ලෝකය භ්‍රමණය වේ_____________


රත් වුණු ඉර එළිය විසින් මුළු හවස් කාළයම වර්ණවත් ලෙස පාට කරමින් හිටියා. කාටවත් ඒ වර්ණ භාවිතාව ගැන වගක් තිබුණේ නැහැ. මං හිටියේ තහනම් කලාපෙක දුම්වැටියක් උර උර..... බිම ඇණ තියාගෙන, නව යොවුන් යුවතීයෝ මෙන්ම මැදිවියේ යොවුන් යුවතියෝ ද මා දෙස පුදු‍මයෙන් මෙන් බලමින් ගියා. කල්ලී පිටින් ඇදුණු අය මගක් ගොස් මට හොදටම හිනා වෙන හඩ ඇසුනා. 
තමන් විසින් තමන් ගැන සාදාගත්  බරක් උස්සාගෙන සිටිනවාදැයි ඔවුන් කිසිවෙකුටවත් ගණනක් තිබුණේ නැහැ. එත් බර බිමින් තියා සැහැල්ලුවෙන් හිදින මට සියල්ලෝ ම සිනාසුනහ. සමච්චලයටත් ඉරිසියාවටත් ඔවුන් මට සුණාසුනහ. අනුන්ගේ කැමැත්ත අකමැත්ත ගැන වගක් කිසි කළේක තිබුණේ නැති මම, මගේ පාඩුවේ හිරුගේ මනස්කාන්තික පෙලහැර පෑම දෙසම බලා හිටියා.

මම හිටියේ ඒ චිත්‍රයෙන් වශිකෘත වෙලා. එත්.....ඔයාට මතකද ඒ සුවද? ඒක බේබික්ලෝන් සුවදක්......... හුරුපුරුදු ක්ලෝන් සුවදක්! මගේ දැහැන් බිදගෙන මටත් හොරෙන් මගේ හිත පරණ ඈතක.
හමස් පෙට්ටි අදිනවා සේ මතකය තුලට ම ඇදී ගොසින් මගේ හිත ඒ සුවද හොයනවා. ඒකේ මුල් හොයනවා. 

වෙරෝනිකා.....
ඉස්සර හැම වෙලාවෙම ඔයා ලගින් වහනය වන සුවද! ඔයාටත් හොරෙන් මං හැදාකම ගෙදර අරං ගිය සුවද! ඔයා ලග නැති වුණත් මට ඉතිරි වුණු එකම අරුත..........
ඒ සුවද........

මම මගේ දෑස් ඉරෙන් මෑත් කලා. තද ආලෝකයට නිරාවරණය වෙලා තිබුණු ඇස් දෙක පාට පාට සමනළියන්ගේ විච්චුරණයෙන් තවත් ගිණි කන වැටුණා. හැබැයි ඒ දෙනෝදහක් දෙනා අතරේ සංසාරිකව මං පතන රූව මා මග හැර ඉදිරියට ඇදෙනවා.

වෙරෝනිකා..........

මං හුන්තැනින් නැගිටමින් කෑ ගැහුවා.... නැහැ.... මට මො‍කක්දෝ වෙලා කෑ ගැහුණා.

වෙරෝනිකා.....
මං දකින්න ආසම ඔයාගේ ඇස්. ඉස්සර වගේම ඒවා තවම මායාකාරියි. මං දන්න කාලේ කොටට තිබුණු කොණ්ඩය දැං හරි දිගයි හරියට ඔයා මට දුරයි වගේ.

වෙරෝනිකා.....
තාවමත් ඔයත් මාත් අතර පරතරයක් ලොකුත් නැති පොඩිත් නැති පරතරයක්. ඔයා ඉස්සර හැමතිස්සෙම කිව්වේ මේ පරතරය විසින් කවදාක හරි අපිට අපි නැති කරන විත්තිය. 

ඔයාට කොහොමද....?
තිගැස්මෙන්ම ඔයා ලග තිබුණේ සිනහවක්. දැං ඔයාගේ ඇස් ඉස්සර වගේ කතා කරන්නෙත් නැහැ වෙරෝනිකා....

ඔයා මොකද පාරේ ඉදගෙන කරන්නේ?
හැමෝටම තිබුණු ප්‍රශ්ණේ ම ඔයා මගේන ඇහුවා.

මං බෝධිසත්වවරයෙක්........ බුදුවෙන්න පෙරුම් පුරනවා......

ඔයාට මහා හයියෙන් හිනා ගියා..... ඇත්තටම ඔයාට හිනාව නවත්ත ගන්න බැරිවුණා, බස් ස්ටෑන්ඩ් එකේ හිටපු හැමෝම අපේ දිහා බැලුවා. ඒ ප්‍රශ්ණාර්ථ ඇස් නාභි ගත වෙලා තිබුණේ මට ඔයාට නෙවෙයි. මට ලැජ්ජත් හිතුණා වෙරෝනිකා. 

ඔයා තාම හිනාවෙනවා.......
ඔව් ඔයා තාම මට හිනා වෙනවා

ඔයා ඔහෝම හිනාවෙනකොට හරි හැඩයි......

3 comments:

  1. මේ ලියන විදිහට මං පට්ට කැමතියි!

    (word verification අයින් කළානම් කමෙන්ට් කරනකොට පහසුයි)

    ReplyDelete
  2. //ඔයාටත් හොරෙන් මං හැදාකම ගෙදර අරං ගිය සුවද! ඔයා ලග නැති වුණත් මට ඉතිරි වුණු එකම අරුත..........//

    ලිවීමේ රටාව ගොඩක් ලස්සනයි සහො. මතකයන් එක්ක ඒ සුවඳ තවමත් අතීතයට යන අපූරුව..
    සුබ පැතුම්..!!! :)

    ReplyDelete
  3. ස්තුතියි නන්දු හා පුසා මම ඉක්මනට ඒක අයින් කරන්නම්

    ReplyDelete