Saturday, August 27, 2011

දැල්වෙන දෑසක් මග නොහරින්න....




ළමයෝ.......
ගැහැණියකගේ ආදරේ තෙරුම් ගන්න බැහැ කියන්නේ ම කාළකණ්ණිකමක්, ඇය හැම දෙයක්ම කරන්නේ ඔයාට තියෙන ආදරයේ දිග පළල දන්වන්න. ඔයා ඇය ගැන විශ්වාස කරන තුරු ඇගේ ප්‍රේමය නම් ශුංගාර පොකුණට ඔයාට බහින්න බැහැ. මොකද ඒක තුල ගිලෙන්න ඔයා දන්නේ නැහැ. ඔයා තුල තවදුරටත් ඊට ශක්තියක් ඉතුරුවෙලා නැහැ. ඔයා හැම ශක්ති ප්‍රභේදයක්ම වැඩක් නැති වැඩවලට යොදවලා ඉවර කරගෙන... බලන්න ඇය ඔබ ඉදිරියේ දැල් වුණු දෑස් ඇතුව බලා ඉන්නා අපුරුව, එත් ඔයාගේ ඇස් එහේ මෙහේ දුවනවා. ඔයාට  ඔයාවම මෙල්ල කර ගන්න බැරි වෙලා තියෙනවා. කිසිදිනෙක භාවනාවක නිරත වෙලා නැති ඔයා ඇගේ දෑස් දිහා විතරක් ම බලා ඉන්න. බලන්න හිතට දැනෙන නිවි සැනසිල්ල... හිස්තැනක් නැති අවකාශයක අතරමං වෙන්න දෙන්න ජිවිතේ.... දැන දැන මං මුලා වුණ ජිවිතේ ටික වෙලාවකට හරි නොදැන අතරමං වෙන්න බැරිද? පළදගෙන ඉන්න හැම වෙස් මුහුණක්ම ගලවා දමා ඇය දෙසම බලා හිදින්න. හිතනවාට වඩා ඇගේ ලෝකය විශාලව පේන්න ගනිවී. ඇගේ ප්‍රේමය ඉදිරියේ ඔබට ඔබව අගුටුමිට්ටෙක් සේ දැනෙන්න ගනිවි. මොහොතකටවත් ඇස් පිය නොගසන්න ඒ මොහොත ඇති කෙනෙකුට ඔබ දකින හීනය සොරා ගන්න ......


Monday, August 22, 2011

දිව යන කාළයට හැකිද උතුරන ඔබ නවත්වන්න_______




ජිවිතය ඇත්තේ සිහිනය තුලම නොවේ. මොහොතක අතරමං වීම සදාකාළික ප්‍රේම වෘතාන්තයක දක්වා ගෙන යා හැක්කේ ම ඔබ තුල අව්‍යාජව අනෙකාට පෙනී සිටින තාක් පමණෙකි. ජිවිතයේ අනෙක් සියල්ල පසේක ලා තම සිත මුසපත් කලා වු ප්‍රේමයක් වෙනුවෙන් අරගල කල හැක්කේ ම ආත්මයක් බරට බැදි මිනිසුන්ට හා ගැහැණුන්ට ම පමණෙකි. 
ඇය මේ සොයා යන්නේ තම ආත්මය අත්පත් කර ගත් තම ප්‍රේමවන්තයා සොයාගෙනය. මේ ඇය ආලය කල හැටිය. ප්‍රේමය තුල උස්සා පො‍ළවේ ගැසු පසු දැනෙන ප්‍රීතිය ඇය ආත්මශක්තිය කොට ගෙන ගව්ගණනක් දුර පීරා යමින් අවසන ප්‍රේමය අසල ඇසිපිය නොහෙලා නතරවේ. 
ඒක උමතුවක්.... සංවිධ ලෙස ප්‍රේම කරන්නට යන්නන්ට අත්වන්නේම බොරුව හා රැවටීමය. ජිවිතයේදී එක් වරක් හෝ ඔබ තුල වන ප්‍රේමයට උතුරා දෝරේ ගලන්නට ඉඩ දෙන්න.... එවිට මේ ලෝකයම ලස්සන වේවි...!!

හොයාගෙන බලන්න Very Long Engagement - Directored by Audrey Tautou


Sunday, August 21, 2011

ලෝකාන්තයේ සිට පහළ බැලුවෙමි_______



වෙරෝනිකා....
ආදරය වෙනුවෙන් ජිවිතය පරිත්‍යාග කිරිම ඔයාටත් අද කාළයටත් අනුව කරන්න පුළුවන් ලොකුම මෝඩ වැ‍ඩකි. එත් වෙරෝනිකා හිස්කමක් එක්ක ජිවත් වනවාට වඩා මරණය සිප වැළද ගැනිම කෙතරන්නම් සුන්දර වේද? මිනිසුන් ඔවුන්ගේ හිස්කමේ ප්‍රමාණ පිළීබද දැන ගත් වහාම තැතිගැන්මට ලක් වෙනවා. ඒ තැති ගැන්ම වළක්වා ගැන්මට ඔවුන් විසින් විවිධ දේවල් සමාජය තුල කරමින් ඉන්නවා. එත් මට මගේ හිස්කම මුණ ගැසුනාම එක වහගන්න නොහැකි බව තේරුම් ගියා. සමහර විට මේ මගේ පිස්සුව හින්දා මට එක වහ ගන්න තේරෙන්නේ නැතිව ඇති. එත් මං දැං ඒ සිතුවිල්ලට ගොඩාක් කැමතියි.......

මිනිහෙකුට කොපමණ කාළයක් ආහාර නොගෙන සිටිය හැකිද? එපමණ කාළයක් මම වීරිය වඩමි. වතුර උගුරක් ගෙන මිනිහෙකුට කොපමණ කාළයක් දිවි ගෙවිය හැකිද? එපමණ කාළයක් මම බවුන් වඩමි. ජිවිතය අතැර පලා යෑම නිවට කමක් නම් මම ඒ නිවටයා වෙමි. ප්‍රේමයේ අල්හාදය වෙනුවෙන් සියදිවි හානි කර ගැනිම අණුවනකමක් නම් මම ඒ අණුවන ක්‍රියාව කරමි. ලෝකයා පිස්සෙක් යැයි හදුන්වන මට තව මොනවා කීවත් කම් නැත. මම ඒ සියල්ලෝම වෙමි. මැරෙන්නට ෂොට්කට් තිබියදී මම අමාරුම විදිය තෝර ගත්තා. එක්වර ශන්තියක් අත්කර දෙන මරණයක් මට වැසි නැත. ඉතා දරදඩු, අප්පිරියා සහගත මරණයක් මම පතමින් හිදිමි. කාළකණ්නියෙකුට උරුම විය යුත්තේ කාළකණ්නි මරණයකි. මම එයට සුදානම්ව පෙර මග බලා හිදිමි.

වෙරෝනිකා....
හැමෝටම හොරෙන් රෑ මැදක උස තාප්පයකින් පැනලා මං ආවේ ඔයා ගාව තුරුළු වෙන්න. ඔයාගේ දෙකොපුල් සිප ගන්න. ඔයාගේ නළලත සිප මාව ඔයාගේ තුල දිය කර ගන්න. එත් වෙරෝනිකා මට හමුවුණේ හිස්තැනක්...... 
ඔයාගේ හිත පිරිලා තියේනවා මං දැක්කා..... ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ඔයා හඩා වැටෙනවා මම දැක්කා.... ඒ සුන්දර සිහිනය වෙනුවෙන් ඔයා තුල පවතින අරගලය මං දැක්කා. නාගසාකියට පරමාණු බෝම්බයක් වැටුනා වගේ මගේ හිත ගොළුවෙලා ගිහිං. මම සියලු දේ පිළිබදව ඇති අශාව දමනය කරගෙන දැං ජිවිතයට මුහුණ දෙමි. 
වෙරෝනිකා ඔය දිළීසෙන දෑසින් මට මරණය අරං එනවද......!!!

ආ        මේ       න්


Friday, August 19, 2011

ආදරීය මේ සමුගැන්මයි______________


වෙරෝනිකා.......
මං යන්නම්
උණුහුමට ඔය ආදරේ තුරුල් කරං
ගල් ගැසුණු කදුලක් තුල
අපේ අතීතය රදවගෙන
පරිස්සමට
මේ හොදම වෙලාවයි...
හිත පිරෙන්න
ඔබ දුන්නු ආදරයත්
මුව පිරෙන්න 
ඔබ දුන්නු හාදු මල් පොකුරත්
අරං
සමු ගන්නම්
සදහටම
මේ ඒ වෙලාවයි
සොදුර....


සැරිසැරුමක දිග හැරුම_________


"මග දාලා ආපු දේවල් ගැන විස්සෝප වෙන්න එපා." වැලි කතර තරණය කිරීම අරඹන මොහොතේදී රස විදඥයා කොලුවාට එසේ කීවේය. "මේ ලොවේ පවතින හැම දෙයක්ම විශ්වාත්මය තුල ලියවිලා තියෙන්නේ. ඒ නිසා ඒවා සදාකල් පවතිවී."

"මිනිස්සු වැඩිපුරම හීන දකින්නේ පිටත් වෙලා යන එක ගැන නෙවෙයි. ආපසු එන එක ගැනයි." කොලුවා කීවේය. ඔහු මේ වන විටත් කාන්තාරයේ ගුප්ත නිහැඩියාවට යළි හුරු වී උන්නේය. 

"යමෙකුට හමුවන දෙයක් නිර්මල දේ වලින් නිර්මාණය වෙලා තියෙන කොට එය කිසිම දවසක විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පිටවෙලා යන ඔනෑම කෙනෙකුට ආපහු එන්න පුළුවන්. එහෙත්, දැනට ඔබට හමු වී ඇති දේවල් හරියට උල්කාපාතයක් ඇද හැලෙන විට ඇතිවන ක්ෂණික ආලෝක දහරාවක් මෙන් පමණක් වන නිසා ආපසු ඒමේදී ඔබට ලැබෙන්නේ ශූණ්‍යත්වයක් පමණයි."
මිනිසා කතා කරමින් උන්නේ රස විද්‍යාවේ භාෂාවයි, එහෙත් ඉන් ඔහු අදහස් කරන්නේ ෆාතිමා ගැන බව කොලුවා වටහා ගනී. 

එහෙත් අසීරුම දෙය වුයේ අතරමග දමා ආ දේවල් පිළිබදව කල්පනා නොකර සිටීමය. කාන්තාරයේ ඇගේ නිම්හිම් නැති ඒකාකාරීත්වය මගීන් සිහින දැකීම වෙත කොලුවාව තල්ලු කර හැරීයාය. එහෙයින් කොලුවාට තවමත් අර තල් ගස්, ළිං මෙන් ම ඔහුගේ ආදරය උරුම කර ගත් කාන්තාවගේ මුහුණ දැකීමට හැකි වුණි. එමෙන්ම තම පරික්ෂණයන්හී නිරතව ඉන්නා ඉංග්‍රීසිකාරයාට මෙන්ම තමා ගුරුවරයෙකු බව නොදැනම ගුරුවරයෙකු බවට පත්ව ඉන්නා ඔටුවන් දක්වන්නාවද ඔහුට දැකිය හැක. "මේ රස විද්‍යාඥයා නම් කවම කවදාවත් හැබෑ ආදරේක පැටලිලා නැතිව ඇති." කොලුවා කල්පනා කළේය. 

The Alchemist - Paulo Coelho
සන්තියාගෝ නම් සැරිසරන්නා - චුලානන්ද සමරනායක



මම සහ මම අතර______________





ගොඩාක් ආදරේ කරන ප්‍රේමණිය අතීතයක් මටත් තිබුණා. හිත් රිදව ගැනීම්, සිප ගැනීම්, ආදර තෙපුල් පිරී අතීතයක් මටත් තිබුණා. මට ඉස්සර තිබුණේ රහස් පෙමක්. මම එය මගේ නපුරු හදවතේ ගැඹුරුම තැනක සගවාගෙන රැක්කෙමි. අතැරයාම්, මං වැරදීම් බලා හිද ඇති වී තනිව ආපසු යෑම් බහුලව තිබු ඒ රහස් පෙමට මම අදත් ප්‍රේම කරමි. ඒ එතරම්ම දරා ගැනීමක් මට උරුම වුයේ වෙරෝනිකා ඔයා හින්දා... ඔයාගේ ප්‍රේමයේ ආශිර්වාදය හින්දා.... ඇත්තටම මම ඔයාව ලෝකයක් වගේ දැකපු හින්දා.....


වර්ථමානයේ මට අනියම් සබදතාවක් ඇත.අනුන්ට අයිති  පුංචි සුරංගනාවියකට දුර ඉදන් ප්‍රේම කරන අනියම් පෙමක් දැං මටද තිබේ. එය දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩකි. වීසා නැතිව අනුන්ගේ හිත් අහසේ සරන්නා සේ වැඩකි. අවදානම කෙසේ බැලුවත් ඇත්තේ මා අතේය. තැලේන යකඩ වටවී උඩ පැන පැන තලපු නිසාවෙන් තවදුරටත් තලා ගන්නට කොනක්වත් ඉතිරි නැති මගේ හිත සියලු දේ ඔහේ ඉවසා වදාරා හිදියි. මට මගේ හිත ගැන දුකක්ද විටෙක ඉපදෙයි. එත් දැං මං මේ අනියම් පෙමට පෙම් කරමි. මම එය මගේ නපුරු හදවතේ ගැඹුරුම තැනක සගවාගෙන ආරක්ෂා කරමි. ඒ තරම්ම එය මට මාව පිළීකුල් කරමින් හිදියි. ඒ තරම්ම එය මට මගෙන් ඈත්වෙන්නට උගන්වමින් හිදියි. වෙරෝනිකා.......................................................
මගේ කාළය කෙමෙන් කෙමෙන් ගත වෙමින් යනවා. එත් මේ යක්ෂායා තාම මාව හොයා ගත්තේ නැහැනේ.
පෙම්වතෙක් විදිහට හැරෙන්න අනෙක් හැම ආකාරයේම බහුවිධ චරිත මම රගපා ඇත. ඒ මට උරුම චරිත යැයි මම හිතමි. ඒ හැම චරිතයක් සදහාම මට හැකි උපරිම සතුට, විනෝදය, ත්‍රා‍සය, භීතිය, කුතුහලය හා ප්‍රේමය මම නොඅඩුව ලබා දී ඇත. ඔබේ සිනහාවට මං තවමත් කැමතියි වෙරෝනිකි.....
හෙට මට ඉර පෑයුවොත් හමු වෙමු.