Tuesday, November 22, 2011

---- සදක උමතුව ----







ජිවිතේ හොයාගේ ලගට තුරුළු වී හුරතල් වන විටම ඇය අසන ප්‍රශ්ණයක් ඇත.

"ඔයා මට කොච්චර ආදරේයිද..."

මම මද සිනහාවක් නංවා ගනිමි

"ඇයි ඔයාට උත්තරයක් නැද්ද දෙන්න..."

මම පුරුදු මදහාසපා නිහඩවම සිටිමි.

"ඔයා මට ආදරේ නැද්ද...??"

මෙවර නම් ගැලවිල්ලක් නැති හැඩය. මම ඇය දිහා බැලුවෙමි. ඇගේ දිළිසෙන දෑස් මගේ ඇස් තුලට එබී මොනවදෝ සොයන බව මට වැටහිණී.

"කියන්න.... ඔයා මට කොච්චර ආදරේද..."

මම හැමදාම ආස ඇය මගේ දෑස් පීරා හෙළන බැලුමටය. මට නිරුවත් වී පුර්ණ වශයෙන් ඇයට නිරාවරණය විය හැක්කේ එවිටය. මම ඇයට මාව දැනෙන්නට ඉඩ හැර තවත් මොහොතක් සිටියෙමි.

"මට ඔයාව දැනෙන්නේ නැතුව නෙවෙයි... අනික් හැම කෙල්ලෙක්ම වගේ මමත් ආසයි ඔයාගේ වචනයෙන් අහන්න...
එක පාරක් හරී..."

අවසන් වදන් ඈ කිවේ මට නොව ඇයටම විය යුතුය, ඒවදනේ ස්වරය  එතරම්ම පහත්ය.
මම ඇගේ කම්මුලට හාදුවක් දෙන ගමන් හීනි රිදුමකට හැපුවෙමි. ඇය හිස ඇල කොට මදහාස නැගුවාය. මගේ තොල්පෙති ඇගේ රෝස පැහැති පිරුණු, සුමුදු කම්මුලෙන් රූටාවිත් ඇගේ සිනිදු කොපුල් තල මත රැදිණි.


ආහා...........................!!
දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න.... මම මනු ලොවේදිම ස්වර්ගයේ රසය විදිමි...!!

ඇගේ දෑස් හෙමෙන් හෙමෙන් අඩවන් වී පියවී යයි. ඇගේ දිගු දෑත් මෘදු තෙරපුමක් සමග මා ගෙල වටා එතින. ඇගේ දිගැටි රතැගිලි මගේ කෙටි කොණ්ඩය අතර දගපාමින් හිදියි. මම ඇගේ ඉනවටා දෑත් ලා ඇයව තව තවත් මා වෙත බදවා තබා ගනිමි. ඇගේ නැහැස් පුඩු වලින් පිටවන හුස්ම වේගයෙන් ඇවිත් අවුල් වී ඇති මගේ උඩු රැවුල අතර මිලාන වී යයි. ඇගේ කන් පෙති අතරත් කැරළිකාර කොණ්ඩය අතර ඇගේ කශේරුකාවේ ඉහළටත් පහළටත් මම මගේ නපුරු ඇගිලි තුඩු ගෙන යමින් හිදිමි. ඇය තව තවත් පිපෙමින් උන්නාය. ඇය තව තවත් පණ ලබමින් උන්නාය. ඇය තව තවත් උමතු වෙමින් උන්නාය.

"ඉතිං කියන්න ඔයා මට කොච්චර ආදරේද....."

ඇය උන්නේ මගේ කටු පැදුණු උරයේ හිස හොවා ගෙනය. මම ඇගේ නළල මෘදුව සිප ගතිමි. ඇය සෙමෙන් දෑස් වසනවා මම දිටිමි. ඒ ඇගේ හැටිය. ඇගේ නළල මත මගේ හාදු මල් පුදිනා විට ඇය හරිම ආසය. එය මගේ ආශිර්වාදයැයි ඇය විශ්වාස කළාය. ඇය මගේ හුරතල් කෙළි පොඩිත්තිය සේ මගේ දිග රැවුළත් සමග සෙල්ලම් කිරිමට පටන් ගෙන හමාරය. වරෙක ඇය එය ගොතයි. වරෙක ඇය එය අවුල් කරයි. බොහෝ වෙලාවට ඇය කරන්නේ අතරින් පතර වැවී ඇති සුදු ගස් ගැළවීමය. ඒ අතර ඇය ඇගේ සිනිදු ඇගිළිතුඩු වලින් මගේ වියළි ඇති දෙතොල් මෘදුව ස්පර්ශ කරයි. මොහොතක් ඇයට ඉඩ දෙන මම එක් වරම ඇගේ ඇගිල්ල හපා කමි. කවදත් මට වඩා වේගවත් ඇය ඇගිල්ල අහකට ඇද ගනිමින් මට කවටකම් කරයි. මම මද සිනහාවක් මුවග රදවා නැවත සීමාවක් නැති කෙලවරක නෙත රදවා ගනිමි. මගේ දැහැන බිදිමට මෙන් ඇය මගේ කම්මුල සිප ගනියි. හෙමින් ඉහළට රෑටන ඇය මගේ කන් පෙති අසල නැවති පැරණි පැනයම නැවත වර නගයි.

"මට ඉස්සර වගේ ම ගොඩක් ආදරේයිද......"

මම දිගු සිසුමක් පිට කලේමි. මද වේලාවක් ඇය දෙස බලා හුන් මම උන් තැනින් නැගිට්ටෙමි. වයසක මිනිසෙකු සේ ඉණට අත් දෙක තබාගෙන ඈත බලා හිදිමි. ඇය තවම උන් ඉරියව්වේ සිට අපහැදිලි ලෙස මා දෙස බලා සිටිනවා විය හැක.

"මේ අහසත් මේ පොළවත් මේ ගහ කොළත් මේ මිනිස්සුත් සියල්ලම අයිති දේට කියන තනි නම මොකක්ද...?"

මම ඈතකම නෙත රදවාගෙන ඇගෙන් ප්‍රශ්ණ කළේමි.

හුන් තැනින් නැගි සිටි ඇය නෙත් රදවාගෙන සිටියේ මා වෙතමය.

"මම අහපු ප්‍රශණයට ප්‍රශණයකින් උත්තර දෙන්නේ ඇයි...??"

ඇගේ ස්වරය ඇඩුම්බරය. එහෙත් තවම ඇය මා විශ්වාස කරන බව මම දනිමි. මෙතුවක් ඈතක නෙතු රදවා හුන් මම ඇය දෙසට හැරුණෙමි. ඇගේ පළල් උරතලය මත මගේ කෙසග දෑත් තබා සිහින්ව මිරුකුවෙමි.

"තනි නම මොකක්ද....?"
මම මගේ පැනයේ කොටසක් නැවත වර නැගුවෙමි. ඇය බිම බලා ගත්තාය

විශ්වය.....!!
ඇය උත්තර දුන්නා නොව සිහින් හඩින් කෙදුරුවාය. බිමට බරව ඇති ඇගේ නළලත මම ආයෙමත් සිපගතිමි.

"එතරම්ම......................."

ඇගේ දෑස් හිනාවෙන්නට පටන් ගෙන තිබිණ.



1 comment:

  1. මගේ හිතට ආයෙම ඒ පරණ ආදරය මතක් කරපු පෝස්ට් එකක්..

    ReplyDelete