Tuesday, December 6, 2011

ඝණදුරු රැයක නේරංජනා_________




ඒක මහා පාළුවට ගිය රැයක්.... තරුවක්වත් නොපිපුණ අන්ධකාර රැයක්..... මුළු අහස පුරාම තිබුණේ තැන තැන ගිල ගන්න බලා හිදින කළු අදුරු වළාකුළු විතරමයි. ලාබ ලබන සංස්ථාවට පිං සිද්ධ වෙන්න එළීයේ වීදි ලාම්පුව දවස් ගානක ඉදං පාඩු වෙලා. ඉදහිට දුර ඈත සිට ඇහෙන බල්ලෙකුගේ උඩුබිරුම අඩන්න බලන් ඉන්න මාව අතින් ඇදං ගිහිං පාර පෙන්නවා වගේ වැඩක්.  අන්ධකාරයේ මුළු නිවසම ගිලි යද්දී මම සාලය මැද ඇති කබල් පුටුවක් මත දිග ඇදුණෙමි. සිගරට් දැල්ලේ උපකාරයෙන් මට අඩමානයට අපේ මංගල ඡායාරූපය පෙනේ. අද වගේම එදත් ඇය හැඩය. මම දිගු දුම් රැල්ලකින් ඒ දගකාර මුහුණ වසා දමමි.


දෙපා මුලම කඩා දැමු සිගරට් අළු මද සුළගින් කුලප්පු වී මගේ දෙපා දිගේ උඩට රූටනා විට හීනියට කිති කැවීමක් දැණේ. ඉස්සර දවස් වල කොට කොට වැවුණු මගේ රැවුල් ගස් අතරින් රිංගන ඇගේ දිගු රතැගිලි හෙමෙන් හෙමෙන් ඇවිද විත් මගේ පපුව මත දගපානා විටද දැණෙන්නේ මේ කිති කැවිමමය. මම සිහිනයකට දෑස් නිවමි. තවම ඇගේ රතැගිලි මගේ ඇට පෑදිගෙන එන පපුව මත හැඩයක්, තාලයක් නැතිව දග දමයි. මේ පපුවේ අංශූ මාත්‍රයක් පසා ඇය හදුනයි. 

        "මෙන්න..... මේක ඇතුලෙන් කවුද කතා කරනවා...."

ඒ ඇගේ හැටිය. ඒ ඇගේ දගකාරකමය. ඒ ඇය හුරතල් වන හැටිය. මම දෑස් පියාගෙනම ඇයට සිනහාවක් පිරිනමමි. ඇය මගේ පපුව මත කන තියා තව තවත් ඕනෑකමින් අසයි. කඩින් කඩ මෘදුව ඇගේ සියුමැලි දෙතොල් මගේ පපුව මත දගපායි. හීනියයට කිති කැවෙන විට තැනින් තැන ඇති රෝම කූප ආදරයකට ඇහැරෙයි. මම සිහිනයකට ඉඩ හසර දෙමින් තවත් තදින් දෑස් වසා ගිනිමි.


            "මොනවද ඇතුලේ කතා කරන කෙනා කියන්නේ....??"

ඇගේ හුරතලයෙන් වෂීකෘත වන මම අසමි.

            "හ්ම්.................."

ඇය ඇස් කරකවයි. ඉගිබිගි දමයි. මේ නම් සත්තකින්ම සුරංගනාවියක් යැයි මට සිතෙන්නේ එවිටය. 

              "එයා කියනවා.......... මට ආදරෙයිලු.........!!"

වචන ඇද තොදොල් වෙමින් ඇය පවසයි. එවිට ඇගේ දෙකම්මුල් ලා රත්පැහැයක් ගනියි. ගත දෝවනයෙන් ඉතිරි වු වතුර නිසා ඒ දෙකම්මුල් තරුවක් සේ දිළිසෙයි. ඉතිං ඇය සුරංගනාවියක් නොවන්නේ කෙලෙසද....? 

             "හ්ම්......... කොච්චරද කියලා අහන්න....."

ඇය නැවත පපුව මත මහත් ඕනෑකමින් කන තියා බලයි. මේ වන විට ඇය සම්පුර්ණයෙන්ම මගේ ඇගට ගොඩ වී හමාරය. ඇගේ රවුම් නිකට මගේ පපුවේ ඉහල කෙලවර තබාගෙන දිග රතැගිලි වලින් දිර්ඝ කාලීනව දුම්පානය නිසා අවපැහැ වී වියළි ඇති මගේ දෙතොල් පිරි මදියි. මා නොසංසුව බලා හුන්නේ ඇගේ ඊළග චලනයටය. ඒ මම ආසම ඇගේ රසබර ප්‍රේමණීය හාදුවකින් මගේ වියළී දෙතොල් වලට ලේ උරණූ දැනීමය. 

                 "මේ ලෝකේ තරමට ම........"

වචන පිටවන්නේ මුවින් වුවත් සත්තකින්ම ඇය කතා කලේ ඇස් වලිනි. මම උතුරා යන ප්‍රේමයෙන් ඇයව දෝවන කළේමි. 
සත්තකින්ම ඇය මට ලෝකයකි. මා නිතර දකින ලෝකයද ඇය. මට විශ්වයක් තනන්නේද ඇයමය. 

ඈතින් දිව යන මෝටර් රථයක විදුලි එළියක් ගේ සිසාරා යයි. ඒ සැණින් ගෙතුල ඇති පාළුව මගේ නෙත් තුල අරක් ගත්තේය. මම සිගරට් දුම් මිශ්‍ර දිගු සුසුමකින් හිත සැහැල්ලු කර ගන්නට වෑයම් කරමි. අඩුම තරමේ ඇය ඇගේ සුවදවත් ඉහරවා ගොස් නැත. ලට්ට ලොට්ට සියල්ලත් සමග ඇය හිතත් පොදි බැදන ගිහිං ය. මේ මුසල තනිකම් තුල ගිලී මම මිය යනු නොඅනුමානය. 

ඉතාම කෙටි කලක් තුලදී ඇති වු ඇගේ මගහැරීමත්, නොරුස්සනා ගතියත් පිළිබද දෙබසක් තනා ගත යුතු හෙයින් ඒ සදහා සුදානම් ශරීරයෙන් මම ගෙදර ආවෙමි. හැමදාක මෙන්ම අදත් ඇය මට පෙර ඉස්සර වී ඇත. ඒ නොරැස්සනා ගතියත්, මග හැරීමුත් කෙළවර කරමින් ඈ පිටමං වී ඇත. සදහටම ඇය පිටමං වී ඇත. 
ඇය ආදරය යැයි නිර්වචනය කරන්නේ කුමක්ද යන්න සිතමින් මම කළුවරේම එළී බැසීමි. තව හෝරාවකින් සියලු සුරා සැල් වසා දමනු ඇත. ඊට කලින් මා යා යුතුවේ. 

මම ආයෙමත් සිහිනයකට ඇස් පියමි. 


No comments:

Post a Comment