Wednesday, August 3, 2011

---| මගේ කොළඹට සද ඇවිත් |---



වෙරෝනිකා..............

හැමදාම මේ උස තාප්පේ එල්ලීලා මම ඈත බලාගෙන ඉන්නවා ඔයා එයි කියලා. ගියාට පස්සේ ආයෙමත් එන්න මතකයක් ඔයාට තිබුණේ නැහැ මම හිතන්නේ. එත් හැමතිස්සෙම මගේ හිත ඔයා ඒවී කියලා මේ තාප්පෙන් එහා බලාන ඉන්නවා. අර ඈත පේන කොළඹ ඔයා තරම්ම දැං ලස්සන වෙලා ඔයා තරම්ම හැඩවෙලා කියලයි ආරංචිය. මට කොළඹ බලන්න යන්නත් නැහැ. ඔයා මාව බලන්න එන්නෙත් නැහැ. එත් මොකක්දෝ අහේතුවකට මම තාම දුරක ඇස් තියාන මග බලාගෙන....

අන්න සීනුව නාද වුණා, ඒ බෙහෙත් බොන වෙලාව. එත් මං කැමති තව හෝරාවක් විතර මෙතැන ඉන්න. හදිසියේවත් ඔයා මෙතැනින් ගියොත්.... එත් අපිට පිස්සු නැහැ කියලා මෙකේ ඇතුලේ ඉන්න කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැනේ වෙරෝනිකා. මං යන්න ඔනේ දැං නැත්නම් මාව හොයාගෙන මෙතැනට  ඒගොල්ලෝ ආවොත්, මට මෙතැන තහනම් කළාපයක් වෙනවා. එතකොට අඩුතරමින් ඈතින් පේන කොළඹවත් මට දැක ගන්න හම්බවෙන්නේ නැහැ. මම සෙමෙන් සෙමෙ‍න් ප්‍රධාන ශාලාව දෙසට පියවර මනින්ට පටන් ගතිමි. එහෙත් මගේ සිත තාම තාප්පේ ගැට්ටේ එල්ලීගෙන දුර ඈත බලාගෙනය. 'වෙරෝනිකා සමාව දෙන්න බැරි වැරැදි මිනිස්සු කරන්නේ නැහැ



හෙදියකගේ දෑසේ කෙතරම් කාරුණාව වෑහුණත් ඒයාගේ ඔළුවේ වැඩ කරන්නේ මං පිස්සෙක් කියන සංකල්පය. සමහර විට ඔයාත් එහෙම හිතනවද දන්නේ නැහැ. ඒත් අපි දෙන්නම උන්නේ එකම පිස්සන් කොටුවෙනේ.... ඉස්සර වගේම මේ නීරස බෙහෙත් බොනකොට මට ඔක්කාරයට එනවා. හැදිදැඩි හෙදියක් ලග ඉදන් වතුර ජෝගුව අල්ලන් ඉන්න කොට කොච්චර නීරස වුණත් එක උගුරෙන් පහළට ගුඩුස් ගාලා යනවා. ඔයාවත් හිටිය නම් මගේ ඔළුව අත ගාලා කරුණාවෙන් 'ඔය බෙහෙත් බොන්න රෝමියෝ' කියලා කියන්න. ඔයාට ඒ හැමදේම අමතක වෙලා. එක්කෝ ඔයා ඔනකම්න් අමතක කරලා දාලා. මෙතැනින් එළියට යන හුග දෙනෙක්ට එහෙම වෙනවා කියලා තමයි නිතරම ලොකු නර්ස් කියන්නේ. එත් ඔයා එහෙම නොකරන බව දන්නේ මං විතරයි වෙරෝනිකා.... අනිත් හැමෝම හිතන්නේ මං උමතුවෙන් ඔයා ගැන කල්පනා කරනවා කියලා. ඇත්ත වෙරෝනිකා මං මෙහෙට ආවේ වෙනින් ලෙඩකට, එත් මට දැං තියෙන්නේ උමතුවක්... ඔයාගේ දගකාර ප්‍රේමයෙන් මුසපත් වු උමතුවක්... ඔයාගේ කටකාර වදනින් මුලාවු උමතුවක්.... ඔයාගේ මෘදු හාදුවෙන් මන්මත් වු උමතුවක්.... මම ආසම උමතුව ඔයයි වෙරෝනිකා....

බෙහෙත් වල ඔක්කාරයත් එක්කම මම ඇදට වකුටු වුණා. දෑස් තදින් පියාගෙන, පැතලී කොට්ටයෙන් මුහුණ වහගෙන මම ඔයා ‍ගැන හිතන්න වුණා. ඔයා ගැන මම මොනවා හිතන්නදමම ඔයා ගැන දැං මුකුත්ම දන්නේ නැහැනේ. මෙකෙන් නිදහස් වෙලා ගිය දවසේ ඉදන් මං මොනවද ඔයා ගැන දන්නේ. එත් ඔයා හොද සතුටින් ඇති කියලා හැමදාම වගේ මං හිත හදා ගන්නවා. බෙහෙත් වලින් හෙම්බත් වුණු ශරීරයයි, ඔයා ගැන හිතලා හිතලා තෙහෙට්ටු වුණු හිතයි මේ වෙලාවේ ඉල්ලන්නේ නින්දක්. මම නින්දකට ඉඩ දී හිත පියා ගනිමි. තදින්....



පීයානෝව වයන සද්දෙට මගේ ඇස් ඇරුණා. මගේ හිත පිරිලා තිබුණු මුසලකම කොහෙන් ගියාද කියලා නැහැ. අන්තිමට.... අන්තිමට... ඔයා මාව බලන්න ඇවිල්ලා... හිත තද කරගෙන මාව අමතක වෙන්න ඇරලා හිටපු ඔයා මාව බලන්න ඇවිල්ලා, මං ගැන වගක් නැතිව උන් ඔයා මාව බලන්න ආයෙමත් ඇවිත්... මට හොදටම අසනීපයි කියලා දැන දැනත් මා ගැන නොසොයා හිටපු ඔයා දැං මාව බලන්න ඇවිත්....ආයේමත් අපිට එකට සිංදු කිව්ව හැකි. මේ ඉන්න මිනිසුන්ගේ මුස්පෙන්තුකම යන්න අපිට නැටුම් නටතැහැකි. මානසික රෝහලක් උත්සව සාලාවක් කරන්න පුළුවන් තරම් ප්‍රීතියකින් මගේ හිත පිරිලා.
කළුවර විසින් මුළු ප්‍රදේශයම අරක් ගෙන. එත් මෙකේ අඩියක් අඩියක් ගානේ මට පුරුදුයි. මම කළුවර චප්ප කරගෙන ඇදෙන බිමට පැන්නා. ඔයාට මතකද අපි ඉස්සර හොරෙන් රෑට මේ කොරිඩෝව දිගේ අත් අල්ලගෙන ඇවිදිනවා. එහාටත් මෙහාටත්. හතරවෙනි තට්ටුවේ ඉදන් පහළ මැද මිදුල දක්වා අපි එහේ මෙහේ යනවා.. වචනයෙන් දොඩමළු නොවුණත්  හිතින් අපි ගොඩක් කතා කරමින් උන්නේ. මම අදුරේම පඩිපෙලෙහි ඉගිල්ලුනෙමි. පහළ කොරිඩොව මම ආලෝකයේ වෙගයෙන් පසු කර මැද සාළය ලගට පැමිණියෙමි.  හිතින් මවාගෙන මෙතරම් කල් සිටි  ඔයාව එකපාරටම ඇත්තට දකින්න චකිතයක් හිතිලා මම සාලයට ඇතුල් වන දොර ලග නැවතුනා. මම කොහොමද ඔයාව පිළීගන්නේ.... එක්වරම දුවගෙන ගිහිං සිප වැළද ගන්නවද...? නැත්නම් හෙමින් සැරේ ඔයාගේ පිටි පස්සෙන් ගිහිං ඇස් වහනවද...? මට හිතා ගන්න බැහැ.... මගේ හිත ආයේමත් වාන් දාන්න පටන් ගෙන.. ඒ ඔයාගේ ආදරේ හැටිමයි. කාළයක් මම බලා උන් සිහිනය අද මා ලගට ඇවිදින්. මම තව මොහොතක් ගනිමි සිහිනය බදා වැළද ගැන්මට පෙර.ඒ තරම්ම කළබලෙන් මගේ හිත ගැස්සෙනවා... හිතන්න කාත් කවුරුවත් නැති මට තිබුණු එකම වස්තුව ආයේමත් මට ලැබිලා...

වෙරෝනිකා......
ඔයා මට ආදරේයි නේද..? ඉස්සර දවස් වල වගේම...මාව ලගින් තියාගෙන ආයෙමත් හුරතල් කරනවා නේද....? මාව ආයේ කිසිම දවසක මෙහේම තනි කරලා යන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නේද.. මට ඔයාව ලගින් නැතිව ඉන්න බැහැ....

වෙ  රෝ  නි  කා ....

මගේ හිත දාහාක් දේ තනියම මුමුණනවා.. ඔයාට දැනෙනවද මගේ ආදරේ.. ඔය ඇගිළි අතරින් බේරි මිහිරි තනු වයන්නේ ඒ ආදරය නේද...?
මම සාලයට වැදිමි. මුළු ප්‍රදේශයමත් මුළු බිල්ඩිමත් මුළු සාලයත් කළුවරින් වැසී ඇත. එත් වෙරෝනිකා....පියානෝව ලග ඔයා ඉදගෙන ඇස් මා වෙතම යොමු කරගෙන... ඔයාගේ සංගීතය එන්න එන්නම තීව්ර වෙනවා... වෙරෝනිකා මේ කළුවර මෑත් කරන්නේ කවදද අපි......!!!


No comments:

Post a Comment