Thursday, August 4, 2011

ඔබ හීනයක් වගේ ___________


වෙරෝනිකා...............
අර බ්ලොක් ගල් වලින් බැදපු උස තාප්පෙන් තරනය කරලා, මං ආවා වෙරෝනිකා. ඔයා තරම්ම ලස්සන කොළඹට මං ආවා වෙරෝනිකා. හති නොබලා මග වැරදෙමින් මං ආවා වෙරෝනිකා............
ඔයාව බලන්න.........

වෙරෝනිකා, දන්න කියන තැනකවත්, දකින පේන තැනකවත් ඔයා හිටියේ නැහැ. මම රෑ කියක් නම් මග බලං ඉදලද අර උස තප්පෙන් පැන්නේ. මං බලා හිටියා, ඔව් තනියම ඔයා ගිය දවසේ ඉදලා උස තාප්පේ එල්ලිලා බෙල්ල දික් කරගෙන ම මං බලං උන්නා, ඔයා මොහොතකට හරි මාව බලන්න එයි කියලා. එත්... ඔයා අවේ නැහැ....... ඒ හින්දා මං ආවා හොරෙන් පැනලා ඔයාව බලන්න වෙරෝනිකා.... 
බලන්න මගේ පපුවට අත තියලා.... ඒක ගැහෙන වේගය.... නගරයේ වේගයට වඩා වැඩි ජවයකින් එක ගැහෙනවා. මහවැලිය වාන් දානවාට වඩා වැඩියෙන් එක ඔයාගේ ප්‍රේමයෙන් උමතුව වාන් දමමින් තියෙනවා. වන්දනාවේ යන සමනලුන්ටත් නැති තරමේ පැතුම් පොදියක් අරං මං ආවා.... ඔයා තරම්ම ලස්සන කොළඹට ඔයාව දකින්න...

වෙරෝනිකා, කාත් කවුරුවත් නැතිව හිටි මට, ලගට අරං සෙනෙහස දුන්නේ ඔයා... කවුරුවත් ගණන් නොගෙන උන්න කාලේක මට ලෝකයක් වුණේ ඔයා... එත් වෙරෝනිකා මම ම ඒ ලෝකෙට ගිණි තිබ්බද..?? ඔයාගේ හීන ඔක්කොම මම මහා දවාලක කුඩු කෙරුවද? ඔයාගේ හිතත් එක්ක මම සෙල්ලම් කලාද? මෙහෙම අතරමග මාව දාලා ඔයා පිටව ආවේ ඇයි වෙරෝනිකා...??? මේ ගිණි කාෂ්ඨකේ නන්නාදුන නගරයක මං ඔයාව හොයනවා... පසුවෙන හැම දෑසක් තුලම මම ඔයාව හොයනවා, ජිවී අජිවී හැම තැනකම මම ඔයාව හොයනවා, මේ හැම දෙයක්ම මට ආගන්තුකයි වෙරෝනිකා... කොළඹ ඔයා තරම්ම ලස්සන වුණාට, කොළඹ ඔයා තරම්ම සුන්දර නැහැ වෙරෝනිකා.... ලගට වෙලා මං හෙමෙන් හෙමෙන් ආදරය කලා ඔයාගේ ලෝකේ ඇතුලේ පුංචිම පුංචි තිතක් වෙලා මං ඔයාට ප්‍රේම කලා... එත් ආපහු හැරිලා ඔයා මට ප්‍රේම කරන්න පටන් ගත්තම ඒ ප්‍රේම තුහින මල් වැස්සේ මම නැහැවිලා ගියා. මම හිටියේ හැම තුහින බිදුවක්ම සිප ගන්න බැරිවෙයි කියලා බයෙන්. මම ඔයාගේ කෙස් ගහක ඉදලා සිප ගන්නයි පෙරුම් පිරුවේ. ඔයාගේ දෙකොපුල් අතර සිනහාව වෙලා රැදෙන්නයි මම සිහින මැව්වේ. ඔයාගේ ලැමට තුරුළුව සිහින දකින්නයි මම හිතා උන්නේ.... වෙරෝනිකා.................


මම පැනලා ආපු එක වැරදි කියලා මට දැං හිතෙනවා. මට හරියට ම සනිපයක් නැහැ කියලා මට දැං තේරෙනවා. මම ආපහු යන්න ඔනේ. එහෙම නැත්තම් මේ ආතතියෙන් මිදෙන්න මගේ සිහිය විකල් කරගෙන ඉන්න ඔනේ.. දකින හැම මුහුණකම, දකින හැම ඉරියව්වකම, දකින හැම තැනකම මට පෙන්නේ ඔයා.... 

වෙරෝනිකා.......
ඔයාගේ ආදරේ මගේ මොලේ සෛලයක් සෛලයක් ගානේ උඩු දුවලා මාව කලම්බනවා. ඔයා ලගින් හිටපු කාළයට වඩා මට ඔයාව ඔන වෙමින් තියෙනවා. ඔයා තරම්ම ලස්සන මේ නගරයේ පය ගහලා ඉන්න නම්, මට ක්‍රම දෙකකයි තියෙන්නේ එකක් මිනිමරුවෙක් වෙන්න, අනික බේබද්දෙක් වෙන්න. මම ඒ දෙකෙන් මොකෙක් වෙන්නද වෙරෝනිකා........

හිස් පාත් කරගෙන එන මේ අන්ධකාරයේ සැගව මම ආපහු යනවා වෙරෝනිකා...... මේ සිහිවිකල් තත්වය මට මාවත් නැති කරනවා...... මම යනවා වෙරෝනිකා... මාව අතරමග අත්හැරලා ගිය ඔයාගේ ප්‍රේමය මගේ හිත ඇතුලේ උණුහුමට තියාගෙන මම ආයේමත් අර උස තාප්පෙන් එහා පැත්තේ තියෙන කාළකණ්නි ලෝකයට යනවා. ඔයා මට දුන්නු මතක වැළ හැමදාම තනියට තුරුළු කරන් මං නිදියනවා. ඇස් ඇරියාම ඔයා ඇවිත් තියේවි කියලා හිතාගෙන. එත් එක මම දකින සදාකාළික සිහිනයක්ම විතරයි. 
ඔයාගේ දිළිසෙන ඇස් අග පුංචි බලාපොරොත්තුවක් ගොඩ ගැහෙනවා මං දැක්කා එක හීනෙක. ඔයාට ඒ බලාපොරොත්තුවත් එක්ක ජිවිතේ ගෙනියන්න පුළුවන් වේවි. මගේ මුළු ජිවිතේ ම ඔයා වෙච්ච එකේ, වෙනින් බලාපොරොත්තු වලින් මට ජිවත් වෙන්න අමාරුයි. කොහොමත් මරණයම පතමින් මම ආයෙමත් යනවා අපේ පරණ පුරුදු තැනට. ආහේමත් පරණ පුරුදු විදියට ගොළුවෙකු සේ නිහඩවම නිසලවම මම ඈත බලාගෙන ඉන්නම්.... ඔයා එනකං....
එත් ඔයා නොකියම අතුරුදහන්වෙලා
වෙරෝනිකා................

මේ කදුළු තවම උණුහුම්
මේ කදුළු තවම ඔබගෙයි
වෙරෝනිකා......
කාටවත් දරන්න බැරි ඔයාට මම ප්‍රේම කලේ ඔයාගේ ආදරය ලෝකයක් වුණු නිසා මට
මම ඒ ලෝකයට තවම ආදරේයි
වෙරෝනිකා................
අන්තිම අංගොඩ බස් එකෙන් මම ආයේමත් අපේ ලෝකයට යනවා..... මතකයක් තිබුණොතින් ඇවිත් යන්න ඔබත් එන්න..... 


2 comments: