Thursday, August 4, 2011

~ හීනයක් දුර ඈත ~



වැහි
බිදු එකිනෙක මා වටලාගෙන හෙමෙන් හොරෙන් වැටෙන්නට විය. මම ඒ වැහි බිදු නොපෑගෙන්න ඈත් මෑත්ව අඩි තබමින් ගමන් කළේමි. වැහිබිදු මගේ ගමනට බාදා පමුණනාවාට මං දැං කෙහෙත්ම කැමති නැත. නමුදු මට වඩා ඉක්මණින් වැහි බිදු මා වටලා ගනිමින් සිටිහ. එක දෙක බිංදු මගේ නළලත මත පතිත වන්නට විය. මම හුන් තැනම නැවතුණෙමි. වැහි බිදු ටක් ටක් හඩ නගමින් මගේ නළලත පතිත වන්නට විය. රූරා වැටෙන ඒ බිදු කාළකට පසු මගේ දෙකම්මුල් තෙත් කරමින් කොපුල් තල තෙතමාත්තු කළේය. වැහි බිදුවලට රිසි සේ මගේ නළලත මත වැටෙන්නට මම හිස කළු ආකාසය දෙසට හැරෙව්වෙමි. මොහොතකින් මගේ මුළු මුහුණම වැසී යන්නට පුංචි පුංචියව ඇද හැළුණු වැහි බිදු අනෝරා වැස්සක්ව වටව මගේ මුළු සරුවාංගයම තෙතර බරිත කලේය. මම  දෑස් පියා ගතිමි.

ඔයාට මතකද වැස්සේ නටපු අතීතයක් අපිටත් තිබුණා. ඔයාගේ මුළු ඩෙනිම් කලිසමම තෙත් වෙලා යනකං අපි වැස්සේ තෙමුනා. එච්චර තෙමිලත් ඔයා කලිසමේ කකුල් දෙක නවාගෙන මඩකඩිති පුරා පැන පැන උන්නේ. මම ඔයාගේ පුංචි කුඩය යටට වෙලා ඔයාගේ හැම ඉරියව්වක්ම නිරික්ෂණය කරමින් උන්නේ. ඔයාගේ පිස්සුවට මම කොච්චර ආදරය කලාද?? ඔයාට මතකද අපිට එහෙම අතීතයක් තිබුණා. නැහැ ඔයාට එහෙම මතකයක් නැහැ.  එහෙම අතීතයක් අපිට කිසි දිනෙක තිබි තිබුණේ නැහැ. මේ මම, මේ මොහොතේදි දකින සිහිනයක්. ඔයාව ලගට තුරුළු කරන් මෙහෙම වැස්සේ තෙමෙන්න සදාකාළිකව මගේ හිතේ තිබුණු හීනයක්. කිසිදිනෙක මවිසින් සඵල නොකර ගත් හීනයක්. මම කිසි දිනෙක ඔයාට කියලා නැති හීනයක්. අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාළයකදී ඒ හීන ඔක්කෝම සඵල කර ගන්න බැහැ තමයි. මම හිතුවේ මුළු ජිවිත කාළය පුරාවටම ඔයාව මගේ අනෙක් පසින් තියාගෙන වෙනස් වෙනස් විධියේ ප්‍රේමයන්ගෙන ඔයාව සිප ගන්න. 

මම දෑස් විවර කළේමි. මේ අහසටත් නොකියාම, මේ වැස්සටත් නොකියාම, මේ පොළවටත් නොදෑනීම, මගේ හිතටක් හොරා ඔයා ඈතක ඉගිල ගිහිං. මම උණ සන්නිපාතය හැදෙනකං මේ වැස්සේ තෙමෙන්නද? මට මානසික ව්‍යාධියක් ඇතැයි සිතා කවුරුන් හෝ මාව මානසික රෝහලට ගෙන යන තෙක් මෙහෙම වැස්සේ තෙමෙන්නද? මගේ දෙකම්මුලෙන් රෑටා එන වැහි බිදුවක් මම දිව අගින් රහා බැලුවෙමි. එහි පදමට ලුණු රස ඇත. අහස පුරා විසිරි පැවති වැහි වළාතුළු මගේ ඇස් උඩට පායලා. කාළයකට පසු මට රිසි සේ මා තුල වු වේදනා සියල්ලක්ම පිට කර දැමිය හැක. දිවා කල වෙස් මුහුණක් පළදාගෙන මුළු ලෝකයක් රවටමින් දේශපාලනය, කලාව, සමාජය, හොරකම් ගැන විවිධ කතා බහා කරමින් දිවා ආලෝකය මග හරින මට, මා තුල ඇති වේදනා සියල්ලක්ම පහව කරන්නට මේ වෙලාවයි. මේ ගණ කළුවරේ මා කවුදැයි සොයන්නෙකු නැත. මේ අනෝරා වැස්සේ මට සරණ වන්නට දිව එන පිංවතෙක් නැත. මේ මගේ වෙලාවයි. හැම රාත්‍රීයක් අගම හීනෙන් දොඩවා බිය වී නැගිටින මගේ ආතතීය මග හැර ගැනීමේ වෙලාවයි. 

වෙ   රෝ   නි   කා  ..................................

මම වර්ෂාවේ ශබ්ධය පරායා යන්නට කෑ ගැසුවෙමි. මේ අහස ඉරාගෙන ඔයා ඉන්න තැනකට ඇසෙන්නට කෑ ගැසුවෙමි. තාවකාලික දේවල් වලින් යටපත් කර ඇති මගේ හිත පැලී යන්නට මම කෑ ගැසුවෙමි. ඔයාට ඇහෙන්නේ නැහැ මට තේරෙනවා. චීන මහා ප්‍රකාරයට වැඩිය ලොකු සංකල්ප තාප්පයකින් ඔයාව වට කරලා තියෙන්නේ. සම්බන්ධතා කියන මතවාදි අල්ලසින් ඔයාව බැදලා තියෙන්නේ. එත් වෙරෝනිකා බර්ලීන් තාප්පය බින්දේ ආදරණිය මිනිස්සු කියලා කෙහේ හරි ඔයා කියවලා තිබ්බේම නැද්ද??? 
මේ වගේම කළුවර වැඩි දවසක ඔයා ඉගිල්ලිලා ගිහිං තිබුණා මටත් හොරා. මම තවම ඔයාට ආදරය කරන්න පටන් ගත්තා විතරනේ..... මම තවම ලැහැස්ති වුණා විතරයි එක එක ඉරියව්වලින් ඔයාට ප්‍රේම කරන්න. මම දන්නවා මම දන්නවා.. මං වගේ පිරිමියෙක් ගැන විශ්වාසය තියන්න හොද නැති විත්තිය. එහෙම විශ්වාස කලාම අවසානයේදී ඔයාට ඉතුරු වෙන්නේ වේදනාව විතරක්ම බව. එත් වෙරෝනිකා...... මම ඇත්තටම ඔයාට ප්‍රේම කරමි. මම ඇත්තටම ඔයාගේ දෙකොපුල් වල චමත්කාරය විදිමි. සත්තමයි...   ඔයාගේ ඒකාක්ගතාවයක් නැති ප්‍රේමය වරකට තුන් පාර බැගින් හැම නිමේෂයේදීම මාව උස්සලා පොලවේ ගහනවා. ඔයා දැනං උන්නද මම එකට කොච්චර ආස කලාද කියලා. ඔයා මගේ ඇග උඩ නැගලා මගේ ෂර්ට් කොළරයෙන් අල්ලගෙන වකුටු වෙලා මාව සිප ගනිද්දී... ඔයා දන්නවාද ඒක මාව කෙතරම් තැතිගැන්මක් ඇති කලාද කියලා?? මගේ ආලය වචන දිගේ ඔයා ලගට ගලාගෙන එද්දි කිසිම තක්සේරුවක් නැතිව ඔයා වචනයෙන් වචනය මගෙන් ප්‍රශ්ණ කරද්දී.... ඔයා දන්නවද මට මාව හොයා ගන්න අයේමත් අළුතින්ම හිතන්න වුණා??? පුංචි පරිමාවක හිටිය මාව ලෝකයක් කලේ ඔයා.... ඔව් ඔයා.... ජිවිතේ වැ‍රදෙමින් වැරදි මාවත් වල යමින් අවසානයේ මට හමුවුණා තිතක්.... ඒ නවතින් නෙවෙයි... ජිවිතේම ප්‍රේම කරන්න....
වෙරෝනිකා..... ඔයා ගිහිං... මාව අත්හැරලා, දමල ගහලා, හිතුවක්කාර විදිහට ඔයා ගිහිං... අතින් ඇදලා නවත්වන්නවත් මම ඉදිරිපත් වුණේ නැහැ නේද..?? ඇදලා අරං බලෙන් සිප අරගෙන ආදරෙන් යන්න එපා කියන්න මං හිටියේ නැහැ නේද...?? වෙරෝනිකා මං කොච්චර ආත්මාර්ථකාමියෙක්ද?? මං කොච්චර කුහකයෙක්ද?? මට ඔනේ වුණේ ඔයත් එක්ක නිදිවදින්න විතරක්මද? මට ඔයාව ඔනේ වුණේ මගේ තනිකම මකා ගන්න විතරක්මද? මට ඔනේ වුණේ ඔයාගෙන් බැබළෙන්න විතරක්මද?? එතකොට මං ඔයාට ප්‍රේම කරලම නැද්ද? එතකොට මං ඔයා ගැන හිතලම නැද්ද?? එතකොට මං ඔයාව මගේ මේ නපුරු පපුව මත තියාගෙන රැකබලාගෙනම නැද්ද?? ලෝකය කියන්නේ මායාවක් නම් මම දැං යථාර්තයට නැගිටින්න ඔනේ වෙරෝනිකා... මම මෙතෙක් කල් වෙලී උන් බොරුවෙන් මිදෙන්න මේ හොදම කාළයයි වෙරෝනිකා.... ප්‍රේමය කියලා කියන්නේ ධනවාදයේදී තවත් හුවමාරු භාණ්ඩයක් පමණෙකැයි කියලා මං තෙරුම් ගන්න ඔනේ කාළයයි මේ වෙරෝනිකා....... 



To be Cont.....

4 comments:

  1. වචනවලින් ගසා, වාක්‍ය තලා කුඩු කර, සත්‍ය යේ අඳුරු පෙදෙසට බඩගා යන්නට උමගක් තනන්නට නුඹගේ ඇඟිලි තුඩුවලට ශක්තිය ලැබේවා. සුභ පැතුම්!!!

    ReplyDelete