Tuesday, November 22, 2011

---- සදක උමතුව ----







ජිවිතේ හොයාගේ ලගට තුරුළු වී හුරතල් වන විටම ඇය අසන ප්‍රශ්ණයක් ඇත.

"ඔයා මට කොච්චර ආදරේයිද..."

මම මද සිනහාවක් නංවා ගනිමි

"ඇයි ඔයාට උත්තරයක් නැද්ද දෙන්න..."

මම පුරුදු මදහාසපා නිහඩවම සිටිමි.

"ඔයා මට ආදරේ නැද්ද...??"

මෙවර නම් ගැලවිල්ලක් නැති හැඩය. මම ඇය දිහා බැලුවෙමි. ඇගේ දිළිසෙන දෑස් මගේ ඇස් තුලට එබී මොනවදෝ සොයන බව මට වැටහිණී.

"කියන්න.... ඔයා මට කොච්චර ආදරේද..."

මම හැමදාම ආස ඇය මගේ දෑස් පීරා හෙළන බැලුමටය. මට නිරුවත් වී පුර්ණ වශයෙන් ඇයට නිරාවරණය විය හැක්කේ එවිටය. මම ඇයට මාව දැනෙන්නට ඉඩ හැර තවත් මොහොතක් සිටියෙමි.

"මට ඔයාව දැනෙන්නේ නැතුව නෙවෙයි... අනික් හැම කෙල්ලෙක්ම වගේ මමත් ආසයි ඔයාගේ වචනයෙන් අහන්න...
එක පාරක් හරී..."

අවසන් වදන් ඈ කිවේ මට නොව ඇයටම විය යුතුය, ඒවදනේ ස්වරය  එතරම්ම පහත්ය.
මම ඇගේ කම්මුලට හාදුවක් දෙන ගමන් හීනි රිදුමකට හැපුවෙමි. ඇය හිස ඇල කොට මදහාස නැගුවාය. මගේ තොල්පෙති ඇගේ රෝස පැහැති පිරුණු, සුමුදු කම්මුලෙන් රූටාවිත් ඇගේ සිනිදු කොපුල් තල මත රැදිණි.


ආහා...........................!!
දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න.... මම මනු ලොවේදිම ස්වර්ගයේ රසය විදිමි...!!

ඇගේ දෑස් හෙමෙන් හෙමෙන් අඩවන් වී පියවී යයි. ඇගේ දිගු දෑත් මෘදු තෙරපුමක් සමග මා ගෙල වටා එතින. ඇගේ දිගැටි රතැගිලි මගේ කෙටි කොණ්ඩය අතර දගපාමින් හිදියි. මම ඇගේ ඉනවටා දෑත් ලා ඇයව තව තවත් මා වෙත බදවා තබා ගනිමි. ඇගේ නැහැස් පුඩු වලින් පිටවන හුස්ම වේගයෙන් ඇවිත් අවුල් වී ඇති මගේ උඩු රැවුල අතර මිලාන වී යයි. ඇගේ කන් පෙති අතරත් කැරළිකාර කොණ්ඩය අතර ඇගේ කශේරුකාවේ ඉහළටත් පහළටත් මම මගේ නපුරු ඇගිලි තුඩු ගෙන යමින් හිදිමි. ඇය තව තවත් පිපෙමින් උන්නාය. ඇය තව තවත් පණ ලබමින් උන්නාය. ඇය තව තවත් උමතු වෙමින් උන්නාය.

"ඉතිං කියන්න ඔයා මට කොච්චර ආදරේද....."

ඇය උන්නේ මගේ කටු පැදුණු උරයේ හිස හොවා ගෙනය. මම ඇගේ නළල මෘදුව සිප ගතිමි. ඇය සෙමෙන් දෑස් වසනවා මම දිටිමි. ඒ ඇගේ හැටිය. ඇගේ නළල මත මගේ හාදු මල් පුදිනා විට ඇය හරිම ආසය. එය මගේ ආශිර්වාදයැයි ඇය විශ්වාස කළාය. ඇය මගේ හුරතල් කෙළි පොඩිත්තිය සේ මගේ දිග රැවුළත් සමග සෙල්ලම් කිරිමට පටන් ගෙන හමාරය. වරෙක ඇය එය ගොතයි. වරෙක ඇය එය අවුල් කරයි. බොහෝ වෙලාවට ඇය කරන්නේ අතරින් පතර වැවී ඇති සුදු ගස් ගැළවීමය. ඒ අතර ඇය ඇගේ සිනිදු ඇගිළිතුඩු වලින් මගේ වියළි ඇති දෙතොල් මෘදුව ස්පර්ශ කරයි. මොහොතක් ඇයට ඉඩ දෙන මම එක් වරම ඇගේ ඇගිල්ල හපා කමි. කවදත් මට වඩා වේගවත් ඇය ඇගිල්ල අහකට ඇද ගනිමින් මට කවටකම් කරයි. මම මද සිනහාවක් මුවග රදවා නැවත සීමාවක් නැති කෙලවරක නෙත රදවා ගනිමි. මගේ දැහැන බිදිමට මෙන් ඇය මගේ කම්මුල සිප ගනියි. හෙමින් ඉහළට රෑටන ඇය මගේ කන් පෙති අසල නැවති පැරණි පැනයම නැවත වර නගයි.

"මට ඉස්සර වගේ ම ගොඩක් ආදරේයිද......"

මම දිගු සිසුමක් පිට කලේමි. මද වේලාවක් ඇය දෙස බලා හුන් මම උන් තැනින් නැගිට්ටෙමි. වයසක මිනිසෙකු සේ ඉණට අත් දෙක තබාගෙන ඈත බලා හිදිමි. ඇය තවම උන් ඉරියව්වේ සිට අපහැදිලි ලෙස මා දෙස බලා සිටිනවා විය හැක.

"මේ අහසත් මේ පොළවත් මේ ගහ කොළත් මේ මිනිස්සුත් සියල්ලම අයිති දේට කියන තනි නම මොකක්ද...?"

මම ඈතකම නෙත රදවාගෙන ඇගෙන් ප්‍රශ්ණ කළේමි.

හුන් තැනින් නැගි සිටි ඇය නෙත් රදවාගෙන සිටියේ මා වෙතමය.

"මම අහපු ප්‍රශණයට ප්‍රශණයකින් උත්තර දෙන්නේ ඇයි...??"

ඇගේ ස්වරය ඇඩුම්බරය. එහෙත් තවම ඇය මා විශ්වාස කරන බව මම දනිමි. මෙතුවක් ඈතක නෙතු රදවා හුන් මම ඇය දෙසට හැරුණෙමි. ඇගේ පළල් උරතලය මත මගේ කෙසග දෑත් තබා සිහින්ව මිරුකුවෙමි.

"තනි නම මොකක්ද....?"
මම මගේ පැනයේ කොටසක් නැවත වර නැගුවෙමි. ඇය බිම බලා ගත්තාය

විශ්වය.....!!
ඇය උත්තර දුන්නා නොව සිහින් හඩින් කෙදුරුවාය. බිමට බරව ඇති ඇගේ නළලත මම ආයෙමත් සිපගතිමි.

"එතරම්ම......................."

ඇගේ දෑස් හිනාවෙන්නට පටන් ගෙන තිබිණ.



Sunday, November 13, 2011

බාල ආලයක්..........



කොච්චියකට යට වෙච්ච බල්ලෙකු සේ මම කෙඩෙත්තු වී සිටියෙමි. ජිවිතේ අතැර ගනිමින් බාල වෙළදපළේ රවුම් ගැසීම හේතුවෙන් මම වේදනාවටත්, කෙඩෙත්තුවටත්, සිත් තැවුලටත් පත්ව හිදිමි. නමුත් මහා කාළයකට පසු වස්සානය හමාර කරමින් ඇය මා වෙත පියාඹා එන පුවත විසින් වසන්තයක් සේ මහදේ මල් පුදින්නට විය. මහා කාළයක් මා තුල වු වේදනාවන් මගෙන් පහව ගොස් හිරු කිරණින් මහද ඒකාලෝකාත්මක වන්නට විය. මම බලා හුන්නෙමි. මුළු ජිවිත කාළයේදීම ඇය වෙනුවෙන් මම බලා උන්නාක් මෙන් තව තවත් මම ඇය වෙනුවෙන් සිත දල්වාගෙන බලා උන්නෙමි.

අවසන ඇය ඇවිත් තිබුණා...........
ලොකු හිස්කමකුත් අරගෙන, නාදුන මිනිසෙතුගේ හදවතට ආවාක් මෙන්
ඇවිත්
තිබුණා. ඉස්සර මං දැක්කම පත්තු වෙන දෑස් යාන්තමින් ගිලෙන එළියක් එක්ක මට ආමන්ත්‍රණය කලා. ඉස්සර ඇගේ මුහුණේ වු දාංගලය පේන්නටවත් තිබුණේ නැත. බාග වේලාවට දැං ඇය වැඩිහිටියෙක් යැයි ඇයටම අවබෝධ වුවා වන්නට පුළුවන. වත්සුණු තවරාගෙන පිරිපුන් ස්වරෑපයෙන් සිටිම ඇගෙන ඈත් වී ගොස් හැඩය. එහෙත් සුපුරුදු ලෙසම මම ඇයව වැළද ගතිමි, නැතහොත් මට එලෙස නොකර ඉන්නට බැරි රෝගයක් විය. 
පරණ පුරුදු ලෙස ම හැසීරීමට කෙතරම් ඈ උත්සහ ගත්තද ඇයගේ වෙනස් වීම විසින්ම ඇයට පරණ පුරුදු අමතක කොට තිබිණ. මේ සිටින්නේ ඈයමය, අළුත් විදිහකට. මම හිතා හදා ගන්න එහෙම හිතුවා. නැහැ මේ සිටින්නේ පරණ ඇයමය, පරණ අතීතය වළදමා පැමිණ ඇති. මට වෙලාවකට එහෙමත් හිතුනා. කොච්චර කාළයකට පස්සෙද අපි මුණ ගැහුණේ. ඇයට එහෙම වගක්වත් තිබුණු බවක් පෙන්න තිබුණේ නැත. ඇය හිටියේ වෙනමම ලෝකයක. මට නැවතත් ඇය තුලට කිදා බැස ඇයව සොයා ගැනීමය උවමනාවක් විය. එහෙත් ඇයගේ ආගන්තුක හැසීරීම් රටාව විසින් මා හකුලවාළමින් සිටියි. එහෙත් ඇයව පරණ පුරුදු ලෙසම ඈ තුලින්ම මම සොයා ගත යුතුව ඇත. මම ධෛර්්‍යය වඩවා ගත්තෙමි. උත්සහාය අත් නොහරින ලද මා විසින් ලද අවස්ථාවෙදීම ඇයව සිප ගත්තෙමි.
ඉස්සර මේ නා දළු වන් දෙකපුල් දවසකට කොපමණ වතාවක් මම සිප ගන්නවද? එහි ඇති සෑම රේඛාවක්ම මම හොදින් හැදින තිබිණි. එහි රස කලම්ඹණය කල යුතු ආකාරය පවා මම මැනවින් ඉගෙනගෙන තිබිණි.
එහෙත් එක වරම වොට් තිස් දාහක් වැදුණා සේ මම ඇයව සිප ගැනිම අත් හැරියෙමි. විශ්වාස කරන්න. මේ සිටින්නේ සුපුරුදු ඇයමය. එහෙත් ඇය තුල තවදුරටත් ජිවමාන ආදරයක් ඇත්තේ නැත. අනෙක් සියලු දෙනාම මෙන් ඇයද මේ ලෝකයේ තවත් එක් ගැහැණියක් බවට පත් වෙමින් හිදියි. තමන්ගේ තත්වය, මුදල් හා පැවැත්ම වෙනුවෙන් පමණක් ජිවිතය ගෙන යෑමට අනෙක් සියලු දෙනාම මෙන් ඇයද හිත හදාගෙන අවසාන විය යුතුය.
ඈ තුල තවදුරටත් මා කෙරෙහි ආදරයක් තිබුණේම නැති බව මට හොදටම විශ්වාසය. වචන මත දවටන ලද ආදරයක් විසින් මා රැවටි උන්නෙමි. මට මා කෙරෙහිද, මගේ ආදරය කෙරෙහිද අත්මානුකම්පාවක් ඇතිවිය. විශ්වාසය පුපුරා ගිය කල මිනිහෙකුට විය හැකි අවදානම මම දැං හොදාකාරවම දනිමි. මම වික්ෂිප්තයෙන් යුතුව බලා සිටියෙමි. එහෙත ඇය කිසිදු දෙයක් සිදු නොවුවා ලෙස පරිස්සමෙන් ඉන්නැයි ආයාචනා කොට මගෙන වෙන් විය. ජිවිතය බොහෝ විට අප සිතන පරිදිම දිග හැරෙන්ටනේ නැත. එසේ වුවද ඒ පසු පස හඹා ගෙස් අපගේ ජිවිතය කීතු කීතු කර ගත යුතුද නැත. 
පියෙද්රා ගග අසබඩට මම නොගියෙමි. පියෙද්රා ගග අසබඩ හිද මම නොවැළපුනෙමි. එහෙත් ජිවත් වීම සදහා ප්‍රේම කිරිම හැර වෙන ඕනේම දෙයක් කිරිමට මම හිතාගෙන තව තවත් වීර්යය වඩමි. 

~ආගන්තුක්~




Wednesday, November 9, 2011

වැරදීමක්, සමාවෙන්න........



ආදරය ඇතිවෙන්නේ නිදහස්, සාමකාමී මොහොතක, ඒ මොහොත තුල ඔබට අනෙක් කිසිවක් වලංගු වන්නේ නැහැ. ආදරය ඇති වෙන මොහොතකදි කිසිදු බාහිර පැවැත්මක් ගැන විශ්වාසයක් ඔබ ගැන පවතින්නෙත් නැහැ. ආදරය මේ මොහොතේ ඔබ තුල පවතිවා. 

එවැනි මොහොතවල් ගොඩාක් පහු කරමින් අපි වෙන මොකක්දෝ පැටලැවිල්ලක අතරමං වෙලා. අපි වහල්ලු වගේ යමක ඇලී සිටිනවා. හරියට දාල යන්න බැරි දෙයක් කර මත පටවගෙන වගේ බලහත්කාරයෙන්, එකට ආදරේ කියලත් කියනවා. ආදරේ එහෙමයි කියලත් කියනවා. 

ඔබ ඒ සුන්දර මොහොතට ඇතුල් වු විගස, ඔබ තුල  ඇති සියලුම බැමී ලිහි යනවා. ඔබ තුල පුර්ණ නිදහසක් ඇතිවෙනවා. තරගකාරීත්වය අත් හැරිලා ඒ වෙනුවට සාමයේ මල් පූදින්න ගන්නවා. ඔබට අමතකව ගිය සිනහාව ආයෙමත් දොරේ ගලන්න ගන්නවා. ඔබට ඇයව සුරංගනාවියක් වගේ පෙන්න පටන් ගන්නවා.


සුරංගනාවියක් හොයා ගෙන ආපු ඔයා මස් නොකන සමනල දඩයක්කාරයෙක් වෙලා. ඔයා ඉන්නේ ලොතු විදවීමක. තේරුම් ගන්න බැරි තරම් ඔයාගේ හිත තැලිලා, පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඒ තරම්ම ලොකු බොරුවක පැටලිලා ආදරේ කියලා ඔයා ඇග බේරගන්නවා. ඔයා තුල නැති දෙයක් ඔයා තුල ඇති දෙයක් ලෙස පෙන්නන්න හදනවා. පුරුද්ද සහ පැවැත්ම කියන්නේ දෙකක් බව ඔයාට අමතකව ගිහිං. 

එත් ඔයා තාම වෙනස් වෙලා නැහැ.  ඒදා වගේමයි. තාමත් පිස්සුවෙන් වගේ ජිවිතේ හොයනවා සුරංගනාවියක් ලග.  අනිත් ඔක්කෝම වෙනස් වෙලා. අනිත් හැමදේම අනන්තයට විහිදුණු ප්‍රශ්ණ වැළක් ඔතාගෙන. වෙලාවකට මට ඔයා ගැන ඊරිසියත් හිතෙනවා. ජිවත් වෙන්න අනිත් හැම මිනිහම තරගයක යෙදෙද්දී ජිවිතේ මග හැරීම පිළිබදව කල්පනා කරමින් ඔයා අඩියක් ගහනවා. එක සුන්දර සිතුවිල්ලක්. ජිවිතේ වැරදීම් එක්ක මිනිසුන් කැළේ වැදෙද්දී ඔයා මදුවිතක් අතේ තියාගෙන සුන්දර සිනහාවක් එක්ක බලාගෙන ඉන්නවා. ඒ ඔයා තුල ඇති සාමයයි. ගොඩාක් අය ජිවිතේ හිමිපෙත්තටම නැගලා සුඛෝපබොගීව ජිවිතය ගෙවද්දී ඔයා සරළව පේමන්ට් එකේ වාඩි වෙලා ඒ අය දිහා බලං ඉන්නවා. ඔයාට එයාලව දකින් පුළුවන් වෙන තැන එතැන. අනිකා දෙස ඇහැක් ඇරලා බලන්නේ නැති ජිවිත දිහා ඔයා කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා. 
ජිවිතේ තමන් ලග තියා ගන්න බය හුගාක් දෙනා බැංකු වලට උකස් කරලා නිවාස ණය අරං. (ගෙවල් කඩා බිදින රටක) ඔයා ලග තාමත් බරට ජිවිතේ තියෙනවා කියලා මං දන්නවා. එත් මා ලග දැං ආදරේ නැහැ ඔයාට දෙන්න. මට අත්තටු ඇවිල්ලා පාත් වුණේ වැරදි කූඩුවකට. එකම වැරැද්ද සිය වරක්...... එත් මට ඔයාව ඔනේ, 

වැරදීමක්, සමාවෙන්න........