Wednesday, December 21, 2011


23________________


















ජිවිතයේ ගොඩක් කඩඉම් පසුකරමින් අපි ගමන් කරනවා. සමහර තැන්වල විශ්‍රාම ගැනිමට මදකට නතර වුවත් අපි කරේ තියාගෙන යන්නේ නැහැ. සමහර තැන් පිළිබදව අපිට ඇත්තටම නිච්චියක් ඇත්තෙත් නැහැ. එත් අපි උවමනාවෙන් මතකය සමග බැදගෙන එන දේවල් ටිකක් මේ ජිවිතයේ තියෙනවා. සමහර දේවල් අපි තදින්ම ග්‍රහනය කරගෙන ආරක්ෂා කරගන්නවා. ආදරෙත් අන්න එහෙම දෙයක්.......

කාළය ඉගිල්ලෙන්නේ ඇසිල්ලක වේගයෙනි. මීට හරියටම අවුරුදු දෙකකට පෙරාතුව ඇය මගේ බිරිද වුණාය. මගේම හුරුබුහුටි බිරිද වුණාය.  එතැන් පටන් සියලු බැමි බිද දමමින් ඇය මා තුල ම වෙලෙන්න පටන් ගත්තා. මහා සාගරයක් වගේ හැලහැප්පීම් ගොඩාක් මැද අපි මේ අවුරුදු තුන ගෙවමින් උන්නා. 

සිහින දකින එක අත්හැර දමා මම ඇයව මගේ පපුතුරුලෙහි හොවා ගත්තේ අළුත් බලාපොරොත්තු ගොන්නක් එක්ක. ඒ ඇගේ ආදරේ හැම මොහොතකම මට නැවුම් උණුහුමක් ලබා දෙන නිසාවෙනි. මුළු ගතම හිරිවට්ටවමින් ඇද හැලෙන හාදු වැසි වලින් මගේ ජිවිතය ඵල බර වෙන්න ගත්තා. පුංචි එකියක් වගේ හැම වෙලාවෙම දුවගෙනවිත් ඇය මගේ ඇකයට පැන හුරතල් වෙන්න ගත්තා. ඇය දෝතින්ම වසන්තයත්, ජිවිතයත් අරං ඇවිත් තිබුණා. 

විටෙක ඇය අනෝරා වැස්සක් සේ වැළපුණාය. එත් ආයේ ආයෙමත් ඈ මා මතම දළු දැම්මාය. මේ හමන සුළග සේ ඇය දග පෑවාය. ඒ ඇය මගේ හිත පුරාම ලැගුම් ගෙන ඇති නිසාවෙනි. 

වෙරෝනිකා...........
ඔයාගේ ආදරේන් මගේ උමතුව වැඩි වෙන එකට මං ආසයි......
මං ආදරේයි..........


Monday, December 19, 2011

ආදරණිය අවුරුද්ද_________________



වෙරෝනිකා........
ආයේ ආයෙමත් ලෝකේ විනාස වීම පිළිබද කතන්දර උඩට එමින් තියෙනවා. 2011 අන්තිම දවස් කිහිපයි මේ ගෙවමින් ඉන්නේ. 2012 අවසානයෙන් ලෝකය පවතින්නේ නැහැයි කියලා දස අතේ ලිපි එහේ මෙහේ සංසරණය වෙනවා. 

වෙරෝනිකා..... ලෝකේ කොහොම වුණත් කවදා හරි විනාශ වෙනවනේ. එත් අපි සිඝ්‍රගාමි දුම්රියක නැංගා වගේ අධිවේගයෙන් ජිවිතේ ගෙවමින් ඉන්නවා. අඩුම ගාණේ අපිට අපි දිහාවත් බලන්න වෙලාවක් නැති වෙලා. අපි හැමෝම ජිවිත රේස් එකේ. වෙරෝනිකා මං තාමත් ඔයා දිහා බලාගෙන ඉන්නවා සැනසිල්ලේ..... රටක් රාජ්ජයක් අල්ලන්න මගේ හිතේ තිබුණු ආසාවන් ඔක්කෝම පැත්තක දාලා මං ඔයාට ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉදලා මට සැනසිල්ල උදාවුණා. ඔයාගේ වේග සීමාවන් කාළයෙන් කාළයට වෙනස් වෙන හැටි මං බලාගෙන ඉන්නවා. ලෝකයක් තරම් මට ඔයාට ආදරේ කරන්න පුළුවන් වෙන්නේ මට ඔයාව හැදින ගන්න කාළයක් තිබේන නිසා, විවේකයක් තිබේන නිසා. 

කොහොම කලත් ලෝකය විනාස වෙන එක නවත්වන්න බැහැ. ඉතිං කලබලෙන් මරු කටට දුවන්නේ නැතිව අපි සැනසිල්ලේ ආදරේ විදමින් ජිවිතේ ගෙවමුද?
මරනයට අපිට තේරීම් නැති එකේ ආදරය සදහා අපි හරි තේරීමක් හොයා  ගනිමු.

ප්‍රේමයේ වැසි වසින අවුරුද්දක වේවා......




Tuesday, December 6, 2011

ඝණදුරු රැයක නේරංජනා_________




ඒක මහා පාළුවට ගිය රැයක්.... තරුවක්වත් නොපිපුණ අන්ධකාර රැයක්..... මුළු අහස පුරාම තිබුණේ තැන තැන ගිල ගන්න බලා හිදින කළු අදුරු වළාකුළු විතරමයි. ලාබ ලබන සංස්ථාවට පිං සිද්ධ වෙන්න එළීයේ වීදි ලාම්පුව දවස් ගානක ඉදං පාඩු වෙලා. ඉදහිට දුර ඈත සිට ඇහෙන බල්ලෙකුගේ උඩුබිරුම අඩන්න බලන් ඉන්න මාව අතින් ඇදං ගිහිං පාර පෙන්නවා වගේ වැඩක්.  අන්ධකාරයේ මුළු නිවසම ගිලි යද්දී මම සාලය මැද ඇති කබල් පුටුවක් මත දිග ඇදුණෙමි. සිගරට් දැල්ලේ උපකාරයෙන් මට අඩමානයට අපේ මංගල ඡායාරූපය පෙනේ. අද වගේම එදත් ඇය හැඩය. මම දිගු දුම් රැල්ලකින් ඒ දගකාර මුහුණ වසා දමමි.


දෙපා මුලම කඩා දැමු සිගරට් අළු මද සුළගින් කුලප්පු වී මගේ දෙපා දිගේ උඩට රූටනා විට හීනියට කිති කැවීමක් දැණේ. ඉස්සර දවස් වල කොට කොට වැවුණු මගේ රැවුල් ගස් අතරින් රිංගන ඇගේ දිගු රතැගිලි හෙමෙන් හෙමෙන් ඇවිද විත් මගේ පපුව මත දගපානා විටද දැණෙන්නේ මේ කිති කැවිමමය. මම සිහිනයකට දෑස් නිවමි. තවම ඇගේ රතැගිලි මගේ ඇට පෑදිගෙන එන පපුව මත හැඩයක්, තාලයක් නැතිව දග දමයි. මේ පපුවේ අංශූ මාත්‍රයක් පසා ඇය හදුනයි. 

        "මෙන්න..... මේක ඇතුලෙන් කවුද කතා කරනවා...."

ඒ ඇගේ හැටිය. ඒ ඇගේ දගකාරකමය. ඒ ඇය හුරතල් වන හැටිය. මම දෑස් පියාගෙනම ඇයට සිනහාවක් පිරිනමමි. ඇය මගේ පපුව මත කන තියා තව තවත් ඕනෑකමින් අසයි. කඩින් කඩ මෘදුව ඇගේ සියුමැලි දෙතොල් මගේ පපුව මත දගපායි. හීනියයට කිති කැවෙන විට තැනින් තැන ඇති රෝම කූප ආදරයකට ඇහැරෙයි. මම සිහිනයකට ඉඩ හසර දෙමින් තවත් තදින් දෑස් වසා ගිනිමි.


            "මොනවද ඇතුලේ කතා කරන කෙනා කියන්නේ....??"

ඇගේ හුරතලයෙන් වෂීකෘත වන මම අසමි.

            "හ්ම්.................."

ඇය ඇස් කරකවයි. ඉගිබිගි දමයි. මේ නම් සත්තකින්ම සුරංගනාවියක් යැයි මට සිතෙන්නේ එවිටය. 

              "එයා කියනවා.......... මට ආදරෙයිලු.........!!"

වචන ඇද තොදොල් වෙමින් ඇය පවසයි. එවිට ඇගේ දෙකම්මුල් ලා රත්පැහැයක් ගනියි. ගත දෝවනයෙන් ඉතිරි වු වතුර නිසා ඒ දෙකම්මුල් තරුවක් සේ දිළිසෙයි. ඉතිං ඇය සුරංගනාවියක් නොවන්නේ කෙලෙසද....? 

             "හ්ම්......... කොච්චරද කියලා අහන්න....."

ඇය නැවත පපුව මත මහත් ඕනෑකමින් කන තියා බලයි. මේ වන විට ඇය සම්පුර්ණයෙන්ම මගේ ඇගට ගොඩ වී හමාරය. ඇගේ රවුම් නිකට මගේ පපුවේ ඉහල කෙලවර තබාගෙන දිග රතැගිලි වලින් දිර්ඝ කාලීනව දුම්පානය නිසා අවපැහැ වී වියළි ඇති මගේ දෙතොල් පිරි මදියි. මා නොසංසුව බලා හුන්නේ ඇගේ ඊළග චලනයටය. ඒ මම ආසම ඇගේ රසබර ප්‍රේමණීය හාදුවකින් මගේ වියළී දෙතොල් වලට ලේ උරණූ දැනීමය. 

                 "මේ ලෝකේ තරමට ම........"

වචන පිටවන්නේ මුවින් වුවත් සත්තකින්ම ඇය කතා කලේ ඇස් වලිනි. මම උතුරා යන ප්‍රේමයෙන් ඇයව දෝවන කළේමි. 
සත්තකින්ම ඇය මට ලෝකයකි. මා නිතර දකින ලෝකයද ඇය. මට විශ්වයක් තනන්නේද ඇයමය. 

ඈතින් දිව යන මෝටර් රථයක විදුලි එළියක් ගේ සිසාරා යයි. ඒ සැණින් ගෙතුල ඇති පාළුව මගේ නෙත් තුල අරක් ගත්තේය. මම සිගරට් දුම් මිශ්‍ර දිගු සුසුමකින් හිත සැහැල්ලු කර ගන්නට වෑයම් කරමි. අඩුම තරමේ ඇය ඇගේ සුවදවත් ඉහරවා ගොස් නැත. ලට්ට ලොට්ට සියල්ලත් සමග ඇය හිතත් පොදි බැදන ගිහිං ය. මේ මුසල තනිකම් තුල ගිලී මම මිය යනු නොඅනුමානය. 

ඉතාම කෙටි කලක් තුලදී ඇති වු ඇගේ මගහැරීමත්, නොරුස්සනා ගතියත් පිළිබද දෙබසක් තනා ගත යුතු හෙයින් ඒ සදහා සුදානම් ශරීරයෙන් මම ගෙදර ආවෙමි. හැමදාක මෙන්ම අදත් ඇය මට පෙර ඉස්සර වී ඇත. ඒ නොරැස්සනා ගතියත්, මග හැරීමුත් කෙළවර කරමින් ඈ පිටමං වී ඇත. සදහටම ඇය පිටමං වී ඇත. 
ඇය ආදරය යැයි නිර්වචනය කරන්නේ කුමක්ද යන්න සිතමින් මම කළුවරේම එළී බැසීමි. තව හෝරාවකින් සියලු සුරා සැල් වසා දමනු ඇත. ඊට කලින් මා යා යුතුවේ. 

මම ආයෙමත් සිහිනයකට ඇස් පියමි. 


Tuesday, November 22, 2011

---- සදක උමතුව ----







ජිවිතේ හොයාගේ ලගට තුරුළු වී හුරතල් වන විටම ඇය අසන ප්‍රශ්ණයක් ඇත.

"ඔයා මට කොච්චර ආදරේයිද..."

මම මද සිනහාවක් නංවා ගනිමි

"ඇයි ඔයාට උත්තරයක් නැද්ද දෙන්න..."

මම පුරුදු මදහාසපා නිහඩවම සිටිමි.

"ඔයා මට ආදරේ නැද්ද...??"

මෙවර නම් ගැලවිල්ලක් නැති හැඩය. මම ඇය දිහා බැලුවෙමි. ඇගේ දිළිසෙන දෑස් මගේ ඇස් තුලට එබී මොනවදෝ සොයන බව මට වැටහිණී.

"කියන්න.... ඔයා මට කොච්චර ආදරේද..."

මම හැමදාම ආස ඇය මගේ දෑස් පීරා හෙළන බැලුමටය. මට නිරුවත් වී පුර්ණ වශයෙන් ඇයට නිරාවරණය විය හැක්කේ එවිටය. මම ඇයට මාව දැනෙන්නට ඉඩ හැර තවත් මොහොතක් සිටියෙමි.

"මට ඔයාව දැනෙන්නේ නැතුව නෙවෙයි... අනික් හැම කෙල්ලෙක්ම වගේ මමත් ආසයි ඔයාගේ වචනයෙන් අහන්න...
එක පාරක් හරී..."

අවසන් වදන් ඈ කිවේ මට නොව ඇයටම විය යුතුය, ඒවදනේ ස්වරය  එතරම්ම පහත්ය.
මම ඇගේ කම්මුලට හාදුවක් දෙන ගමන් හීනි රිදුමකට හැපුවෙමි. ඇය හිස ඇල කොට මදහාස නැගුවාය. මගේ තොල්පෙති ඇගේ රෝස පැහැති පිරුණු, සුමුදු කම්මුලෙන් රූටාවිත් ඇගේ සිනිදු කොපුල් තල මත රැදිණි.


ආහා...........................!!
දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න.... මම මනු ලොවේදිම ස්වර්ගයේ රසය විදිමි...!!

ඇගේ දෑස් හෙමෙන් හෙමෙන් අඩවන් වී පියවී යයි. ඇගේ දිගු දෑත් මෘදු තෙරපුමක් සමග මා ගෙල වටා එතින. ඇගේ දිගැටි රතැගිලි මගේ කෙටි කොණ්ඩය අතර දගපාමින් හිදියි. මම ඇගේ ඉනවටා දෑත් ලා ඇයව තව තවත් මා වෙත බදවා තබා ගනිමි. ඇගේ නැහැස් පුඩු වලින් පිටවන හුස්ම වේගයෙන් ඇවිත් අවුල් වී ඇති මගේ උඩු රැවුල අතර මිලාන වී යයි. ඇගේ කන් පෙති අතරත් කැරළිකාර කොණ්ඩය අතර ඇගේ කශේරුකාවේ ඉහළටත් පහළටත් මම මගේ නපුරු ඇගිලි තුඩු ගෙන යමින් හිදිමි. ඇය තව තවත් පිපෙමින් උන්නාය. ඇය තව තවත් පණ ලබමින් උන්නාය. ඇය තව තවත් උමතු වෙමින් උන්නාය.

"ඉතිං කියන්න ඔයා මට කොච්චර ආදරේද....."

ඇය උන්නේ මගේ කටු පැදුණු උරයේ හිස හොවා ගෙනය. මම ඇගේ නළල මෘදුව සිප ගතිමි. ඇය සෙමෙන් දෑස් වසනවා මම දිටිමි. ඒ ඇගේ හැටිය. ඇගේ නළල මත මගේ හාදු මල් පුදිනා විට ඇය හරිම ආසය. එය මගේ ආශිර්වාදයැයි ඇය විශ්වාස කළාය. ඇය මගේ හුරතල් කෙළි පොඩිත්තිය සේ මගේ දිග රැවුළත් සමග සෙල්ලම් කිරිමට පටන් ගෙන හමාරය. වරෙක ඇය එය ගොතයි. වරෙක ඇය එය අවුල් කරයි. බොහෝ වෙලාවට ඇය කරන්නේ අතරින් පතර වැවී ඇති සුදු ගස් ගැළවීමය. ඒ අතර ඇය ඇගේ සිනිදු ඇගිළිතුඩු වලින් මගේ වියළි ඇති දෙතොල් මෘදුව ස්පර්ශ කරයි. මොහොතක් ඇයට ඉඩ දෙන මම එක් වරම ඇගේ ඇගිල්ල හපා කමි. කවදත් මට වඩා වේගවත් ඇය ඇගිල්ල අහකට ඇද ගනිමින් මට කවටකම් කරයි. මම මද සිනහාවක් මුවග රදවා නැවත සීමාවක් නැති කෙලවරක නෙත රදවා ගනිමි. මගේ දැහැන බිදිමට මෙන් ඇය මගේ කම්මුල සිප ගනියි. හෙමින් ඉහළට රෑටන ඇය මගේ කන් පෙති අසල නැවති පැරණි පැනයම නැවත වර නගයි.

"මට ඉස්සර වගේ ම ගොඩක් ආදරේයිද......"

මම දිගු සිසුමක් පිට කලේමි. මද වේලාවක් ඇය දෙස බලා හුන් මම උන් තැනින් නැගිට්ටෙමි. වයසක මිනිසෙකු සේ ඉණට අත් දෙක තබාගෙන ඈත බලා හිදිමි. ඇය තවම උන් ඉරියව්වේ සිට අපහැදිලි ලෙස මා දෙස බලා සිටිනවා විය හැක.

"මේ අහසත් මේ පොළවත් මේ ගහ කොළත් මේ මිනිස්සුත් සියල්ලම අයිති දේට කියන තනි නම මොකක්ද...?"

මම ඈතකම නෙත රදවාගෙන ඇගෙන් ප්‍රශ්ණ කළේමි.

හුන් තැනින් නැගි සිටි ඇය නෙත් රදවාගෙන සිටියේ මා වෙතමය.

"මම අහපු ප්‍රශණයට ප්‍රශණයකින් උත්තර දෙන්නේ ඇයි...??"

ඇගේ ස්වරය ඇඩුම්බරය. එහෙත් තවම ඇය මා විශ්වාස කරන බව මම දනිමි. මෙතුවක් ඈතක නෙතු රදවා හුන් මම ඇය දෙසට හැරුණෙමි. ඇගේ පළල් උරතලය මත මගේ කෙසග දෑත් තබා සිහින්ව මිරුකුවෙමි.

"තනි නම මොකක්ද....?"
මම මගේ පැනයේ කොටසක් නැවත වර නැගුවෙමි. ඇය බිම බලා ගත්තාය

විශ්වය.....!!
ඇය උත්තර දුන්නා නොව සිහින් හඩින් කෙදුරුවාය. බිමට බරව ඇති ඇගේ නළලත මම ආයෙමත් සිපගතිමි.

"එතරම්ම......................."

ඇගේ දෑස් හිනාවෙන්නට පටන් ගෙන තිබිණ.



Sunday, November 13, 2011

බාල ආලයක්..........



කොච්චියකට යට වෙච්ච බල්ලෙකු සේ මම කෙඩෙත්තු වී සිටියෙමි. ජිවිතේ අතැර ගනිමින් බාල වෙළදපළේ රවුම් ගැසීම හේතුවෙන් මම වේදනාවටත්, කෙඩෙත්තුවටත්, සිත් තැවුලටත් පත්ව හිදිමි. නමුත් මහා කාළයකට පසු වස්සානය හමාර කරමින් ඇය මා වෙත පියාඹා එන පුවත විසින් වසන්තයක් සේ මහදේ මල් පුදින්නට විය. මහා කාළයක් මා තුල වු වේදනාවන් මගෙන් පහව ගොස් හිරු කිරණින් මහද ඒකාලෝකාත්මක වන්නට විය. මම බලා හුන්නෙමි. මුළු ජිවිත කාළයේදීම ඇය වෙනුවෙන් මම බලා උන්නාක් මෙන් තව තවත් මම ඇය වෙනුවෙන් සිත දල්වාගෙන බලා උන්නෙමි.

අවසන ඇය ඇවිත් තිබුණා...........
ලොකු හිස්කමකුත් අරගෙන, නාදුන මිනිසෙතුගේ හදවතට ආවාක් මෙන්
ඇවිත්
තිබුණා. ඉස්සර මං දැක්කම පත්තු වෙන දෑස් යාන්තමින් ගිලෙන එළියක් එක්ක මට ආමන්ත්‍රණය කලා. ඉස්සර ඇගේ මුහුණේ වු දාංගලය පේන්නටවත් තිබුණේ නැත. බාග වේලාවට දැං ඇය වැඩිහිටියෙක් යැයි ඇයටම අවබෝධ වුවා වන්නට පුළුවන. වත්සුණු තවරාගෙන පිරිපුන් ස්වරෑපයෙන් සිටිම ඇගෙන ඈත් වී ගොස් හැඩය. එහෙත් සුපුරුදු ලෙසම මම ඇයව වැළද ගතිමි, නැතහොත් මට එලෙස නොකර ඉන්නට බැරි රෝගයක් විය. 
පරණ පුරුදු ලෙස ම හැසීරීමට කෙතරම් ඈ උත්සහ ගත්තද ඇයගේ වෙනස් වීම විසින්ම ඇයට පරණ පුරුදු අමතක කොට තිබිණ. මේ සිටින්නේ ඈයමය, අළුත් විදිහකට. මම හිතා හදා ගන්න එහෙම හිතුවා. නැහැ මේ සිටින්නේ පරණ ඇයමය, පරණ අතීතය වළදමා පැමිණ ඇති. මට වෙලාවකට එහෙමත් හිතුනා. කොච්චර කාළයකට පස්සෙද අපි මුණ ගැහුණේ. ඇයට එහෙම වගක්වත් තිබුණු බවක් පෙන්න තිබුණේ නැත. ඇය හිටියේ වෙනමම ලෝකයක. මට නැවතත් ඇය තුලට කිදා බැස ඇයව සොයා ගැනීමය උවමනාවක් විය. එහෙත් ඇයගේ ආගන්තුක හැසීරීම් රටාව විසින් මා හකුලවාළමින් සිටියි. එහෙත් ඇයව පරණ පුරුදු ලෙසම ඈ තුලින්ම මම සොයා ගත යුතුව ඇත. මම ධෛර්්‍යය වඩවා ගත්තෙමි. උත්සහාය අත් නොහරින ලද මා විසින් ලද අවස්ථාවෙදීම ඇයව සිප ගත්තෙමි.
ඉස්සර මේ නා දළු වන් දෙකපුල් දවසකට කොපමණ වතාවක් මම සිප ගන්නවද? එහි ඇති සෑම රේඛාවක්ම මම හොදින් හැදින තිබිණි. එහි රස කලම්ඹණය කල යුතු ආකාරය පවා මම මැනවින් ඉගෙනගෙන තිබිණි.
එහෙත් එක වරම වොට් තිස් දාහක් වැදුණා සේ මම ඇයව සිප ගැනිම අත් හැරියෙමි. විශ්වාස කරන්න. මේ සිටින්නේ සුපුරුදු ඇයමය. එහෙත් ඇය තුල තවදුරටත් ජිවමාන ආදරයක් ඇත්තේ නැත. අනෙක් සියලු දෙනාම මෙන් ඇයද මේ ලෝකයේ තවත් එක් ගැහැණියක් බවට පත් වෙමින් හිදියි. තමන්ගේ තත්වය, මුදල් හා පැවැත්ම වෙනුවෙන් පමණක් ජිවිතය ගෙන යෑමට අනෙක් සියලු දෙනාම මෙන් ඇයද හිත හදාගෙන අවසාන විය යුතුය.
ඈ තුල තවදුරටත් මා කෙරෙහි ආදරයක් තිබුණේම නැති බව මට හොදටම විශ්වාසය. වචන මත දවටන ලද ආදරයක් විසින් මා රැවටි උන්නෙමි. මට මා කෙරෙහිද, මගේ ආදරය කෙරෙහිද අත්මානුකම්පාවක් ඇතිවිය. විශ්වාසය පුපුරා ගිය කල මිනිහෙකුට විය හැකි අවදානම මම දැං හොදාකාරවම දනිමි. මම වික්ෂිප්තයෙන් යුතුව බලා සිටියෙමි. එහෙත ඇය කිසිදු දෙයක් සිදු නොවුවා ලෙස පරිස්සමෙන් ඉන්නැයි ආයාචනා කොට මගෙන වෙන් විය. ජිවිතය බොහෝ විට අප සිතන පරිදිම දිග හැරෙන්ටනේ නැත. එසේ වුවද ඒ පසු පස හඹා ගෙස් අපගේ ජිවිතය කීතු කීතු කර ගත යුතුද නැත. 
පියෙද්රා ගග අසබඩට මම නොගියෙමි. පියෙද්රා ගග අසබඩ හිද මම නොවැළපුනෙමි. එහෙත් ජිවත් වීම සදහා ප්‍රේම කිරිම හැර වෙන ඕනේම දෙයක් කිරිමට මම හිතාගෙන තව තවත් වීර්යය වඩමි. 

~ආගන්තුක්~




Wednesday, November 9, 2011

වැරදීමක්, සමාවෙන්න........



ආදරය ඇතිවෙන්නේ නිදහස්, සාමකාමී මොහොතක, ඒ මොහොත තුල ඔබට අනෙක් කිසිවක් වලංගු වන්නේ නැහැ. ආදරය ඇති වෙන මොහොතකදි කිසිදු බාහිර පැවැත්මක් ගැන විශ්වාසයක් ඔබ ගැන පවතින්නෙත් නැහැ. ආදරය මේ මොහොතේ ඔබ තුල පවතිවා. 

එවැනි මොහොතවල් ගොඩාක් පහු කරමින් අපි වෙන මොකක්දෝ පැටලැවිල්ලක අතරමං වෙලා. අපි වහල්ලු වගේ යමක ඇලී සිටිනවා. හරියට දාල යන්න බැරි දෙයක් කර මත පටවගෙන වගේ බලහත්කාරයෙන්, එකට ආදරේ කියලත් කියනවා. ආදරේ එහෙමයි කියලත් කියනවා. 

ඔබ ඒ සුන්දර මොහොතට ඇතුල් වු විගස, ඔබ තුල  ඇති සියලුම බැමී ලිහි යනවා. ඔබ තුල පුර්ණ නිදහසක් ඇතිවෙනවා. තරගකාරීත්වය අත් හැරිලා ඒ වෙනුවට සාමයේ මල් පූදින්න ගන්නවා. ඔබට අමතකව ගිය සිනහාව ආයෙමත් දොරේ ගලන්න ගන්නවා. ඔබට ඇයව සුරංගනාවියක් වගේ පෙන්න පටන් ගන්නවා.


සුරංගනාවියක් හොයා ගෙන ආපු ඔයා මස් නොකන සමනල දඩයක්කාරයෙක් වෙලා. ඔයා ඉන්නේ ලොතු විදවීමක. තේරුම් ගන්න බැරි තරම් ඔයාගේ හිත තැලිලා, පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඒ තරම්ම ලොකු බොරුවක පැටලිලා ආදරේ කියලා ඔයා ඇග බේරගන්නවා. ඔයා තුල නැති දෙයක් ඔයා තුල ඇති දෙයක් ලෙස පෙන්නන්න හදනවා. පුරුද්ද සහ පැවැත්ම කියන්නේ දෙකක් බව ඔයාට අමතකව ගිහිං. 

එත් ඔයා තාම වෙනස් වෙලා නැහැ.  ඒදා වගේමයි. තාමත් පිස්සුවෙන් වගේ ජිවිතේ හොයනවා සුරංගනාවියක් ලග.  අනිත් ඔක්කෝම වෙනස් වෙලා. අනිත් හැමදේම අනන්තයට විහිදුණු ප්‍රශ්ණ වැළක් ඔතාගෙන. වෙලාවකට මට ඔයා ගැන ඊරිසියත් හිතෙනවා. ජිවත් වෙන්න අනිත් හැම මිනිහම තරගයක යෙදෙද්දී ජිවිතේ මග හැරීම පිළිබදව කල්පනා කරමින් ඔයා අඩියක් ගහනවා. එක සුන්දර සිතුවිල්ලක්. ජිවිතේ වැරදීම් එක්ක මිනිසුන් කැළේ වැදෙද්දී ඔයා මදුවිතක් අතේ තියාගෙන සුන්දර සිනහාවක් එක්ක බලාගෙන ඉන්නවා. ඒ ඔයා තුල ඇති සාමයයි. ගොඩාක් අය ජිවිතේ හිමිපෙත්තටම නැගලා සුඛෝපබොගීව ජිවිතය ගෙවද්දී ඔයා සරළව පේමන්ට් එකේ වාඩි වෙලා ඒ අය දිහා බලං ඉන්නවා. ඔයාට එයාලව දකින් පුළුවන් වෙන තැන එතැන. අනිකා දෙස ඇහැක් ඇරලා බලන්නේ නැති ජිවිත දිහා ඔයා කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා. 
ජිවිතේ තමන් ලග තියා ගන්න බය හුගාක් දෙනා බැංකු වලට උකස් කරලා නිවාස ණය අරං. (ගෙවල් කඩා බිදින රටක) ඔයා ලග තාමත් බරට ජිවිතේ තියෙනවා කියලා මං දන්නවා. එත් මා ලග දැං ආදරේ නැහැ ඔයාට දෙන්න. මට අත්තටු ඇවිල්ලා පාත් වුණේ වැරදි කූඩුවකට. එකම වැරැද්ද සිය වරක්...... එත් මට ඔයාව ඔනේ, 

වැරදීමක්, සමාවෙන්න........


Monday, October 31, 2011

ආදරේද ආයමත් කියන් මට..............






අන්දකාරයත් වැහී බීරම් විසින් වෙලාසනිම් ම මිනිසුන්ව ගෙවල් වලට ගාල් කරලා. ඈතින් පේන පාළම මත දිදුළන විදුලි ආලෝකයට රටාවකට නැති වුණත් වැටෙන වැස්ස හරි හැඩයි. මිනිස්සුන්ට එක එක අර්ථ දැක්වීම් තිබුණා ඔයා ගැන වෙරෝනිකා. සමහර ඒවා ඔයා මට කිව්වේ බෙහෝම උජාරුවෙන්, තවත් සමහර ඒවා ඔයා කිව්වේ නොක්කඩු ස්වරූපයෙන්. හැබැයි ඒ හැම දෙයක්ම අඩු වැඩි වශයෙන් ඔයාගේ ජිවිතයට බලපාන විත්තිය නිහඩවම මම දැනගෙන උන්නා. දැං ගොඩාක් කාළයක් මම මග බලාන ඉන්නවා ඔයා ආයෙමත් ඒවී කියලා. එත් දැං මං දන්න දේ තමයි ඒ ආවත් එන්නේ මං දන්න වෙරෝනිකා නොවන විත්තිය. ජිවිතේ අඩු පුරව න්න ඕනෑම දෙයක් කල හැකි මිනිසුන් සිටින සමාජයක වෙරෝනිකා ඔයත් තව එක්කෙනක් විතරයි කියලා මට පසක් වෙමින් තියෙනවා. තමන්ගේ වැරදීකාරිත්වය තමන්ගෙන්ම වහගෙන මිනිසුන් විවිධ දේ ඒ සදහා කියමින් හා කරමින් ඉන්නවා. 

වෙරෝනිකා....

මේ බියර් මත නිසා මගේ ඔළුව පැලෙන්න කකියනවා. එත් පෙන නගමින් විදුරුව මතට පිරෙන බියර් වඩියක් මගේ උගුරෙන් පහලට යන්නේ අපි ගැන මතක සියල්ලම දවා හළු කරගෙන. එත් එක පාරටම ඔයාගේ දෙතොල් මගේ දෙතොල් ඉස්සරහා තියෙද්දි මට පියවි සිහිය හැමදාම එනවා. සිගරට් ෆිල්ටරයට පිච්චිලා කළු ගැහිලා, තැම්බිලා තියෙන දෙතොල් ආයෙමත් අස්වද්දදන්න ඇයි තවම ප්‍රමාද...??? 
වෙරෝනිකා....
ඔයා හිටියේ ඇස් තදින් වහගෙන... හරියටම කෙස් ගස් දෙකක් දුරින් ඔයාගේ දෙතොල් නැවතිලා තිබුණේ මගේ දෙතාල් වලට. ඇස් ඇරං හිටපු මට, නළියන ඔයාගේ දෙකම්මුල් හයියෙන් හපන්න හිතුනා. එත් ඔයාගේ දෙතොල් මග හැරලා එහෙම කරන්න විදිහක් මට තිබුණෙම නැහැ. ලා රෝස පැහැති තොල් සායම් දියවෙලා ගියදෙන් ඊයම් බරුවක් සේ ඔය සුමුදු දෙතොලතර මම දියවෙලා ගියාදෙන් කියලා මම ඔයාගේ දෙතොල් සිප ගනිමි.

වෙරෝනිකා....
මත් බව කියන්නේ මේකටනේ............ මගේ මුළු ශරීරය පුරාම විදුලි දහරාවක් ගමන් කරමින් තිබුණා, ඒ නිසාම මම ඉපිලෙමින්, ආයෙමත් ඉපදෙමින් හිටියා. මගේ හෘදස්පන්ධනය, ඔයාගේ හෘදස්පන්ධනය මත සමපාත වෙමින් තිබුණා. ඔයාගේ නිරුවත් දෙතොල් පෙති වලින් මම අමෘත්තය තොල ගින්නනට වුණා. අඩ අදුර විසින් තව තවත් මා මොහොනයට පත් කරමිනුයි තිබුණේ. මට තිබුණේ බොහෝම කලබලයක්, ඉස්පාසුවක් නැති දැගලිල්ලක්.....

             වෙරෝනිකා ..... මං කල්පයක් බලා උන්නා.....

ඇය ලතාවකට දෑස් විවර කලා. ඒ දෑස් එල්ලීලා තිබුණේම මගේ මත් බරිත ඇස් වලමයි. ඒ බැල්ම අනුරාගී ස්නෙහසක් අයැදිමිනුයි තිබුණේ.

            මං දැං ඔයාගේ ලගනේ.... සදාකාළිකව මාව වැළදගෙනම    
            ඉන්න.... තදින්

ඇයගේ හඩ සිහින්ය. රෝමෑන්තිකය. වශි කරවන සුළුය. ඔයාගේ දෙතොල් වලින් බැස්ස මගේ දෙතොල් ඊලගට නැවතුනේ ඔයාගේ දෙවුර මත. මම හිමිහිට ඔයාගේ ඇදන් සිටි ටී ෂර්ට කර එහා මෙහා කර මගේ හාදු ඒ සියුමැලි පුළුල් දෙවුර මත සිටෙව්වෙමි. ඒ වනවිටත් ඔයා හිඩ හසර ලබා දෙමින් තිබුණා පහලට රූටන්න. මේ තරම් සැහැල්ලුවෙන් ඔයා මාව ඉවසන්න කොහොම පුරුදු වුණාද මංදා...?? හැමදාම මම ආස විලවුන් සුවද අදත් මට ගෙන දෙන්නේ ඔයා ගැන රෝමෑන්තික හීනමයි. එත් මම පියවී සිහියෙන් ඉන්න වගබලාගෙන උන්නේ හොදට. මගේ කරවටක් අත් යවමින් ඔයා හිටියේ ඇවිලෙන්න බලාගෙන. මම මාස ගණනක් තිස්සේ දැල් වෙමින් හිටියේ. 

තවදුරටත් මගේ වීදුරුව තුල බියර නැති බව හැගීමෙන් මම පියවි සිහිය එළඹවා ගතිමි. සිහිනයෙන් හරි මම ආසම ඔයාව සිප ගන්න, ලගට ගෙන මගේ ඇකයේ තුරුළු කර ගන්න, වෙරෝනිකා තව කල්පයක් මට බලාන ඉන්න වේවිද මෙහෙම....?? 


ඔබයි හමා යන ප්‍රේමය, මා දවන



ජිවිතේම මම උන්නේ
ඔබ මගේ යැයි සිතාගෙන
ඔබ අයිති
ඔබේ ලෝකයකට
මා බලා හිදිමි
ඔබ දෙසම
ඔය රෝස තොල් පෙති දෙසම
රත් පැහැ කම්මුල් දෙසම
දිදුලනා වශිකෘත දෙනෙත් දෙසම
ඔබ නැතිව
මට මා 
නැති හෙයින්



Sunday, October 30, 2011

බලාපොරොත්තු_______________



ඔහු කී ඇගේ අමුතු ඉංග්‍රීසිය සහ මෙක්සිකානු සම්භවය පිළිබදව කතාව නිසා මට එය තවත් සනාථ විය. ඒ, ඇයම විය යුතුය. පෙරුවියානු නැට්ටුක්කාරියමගේ ජිවිතය අවුල් කොට තිබු තරමටම, ඇයගේ පලා යාම මගේවාසනාවකැ යි, ඇය පැරීසියෙන් අතුරුදහන්ව ගතවු සිව් වසර තුල බොහෝ විට මගේ සිත කියා ඇතත්, දැං ලන්ඩනයේ සැතපුම් පනහක් පමණ දුරින් නැවතත් ස්වකීය විපරිත අනන්‍යතාවයේ නව අවතාරයකින් ඈ ප්‍රාතූර්භූත වී ඇතැයි දැනගත් විට නිව්මාර්කට් වෙත ගොස් ඇය දැක ගැනීමේදැඩි ඕනෑකමක් නොමැඩිය හැකි ලෙස මගේ සිතට වද දෙන්නට විය. 

"මං හිතන්නේ, කොල්ලන්ට වැඩිය මං ආස කෙල්ලන්ට. ඒත්, ඒ පක්ෂයක් එක්වත් මං ආදරේක පැටලෙන්නේ නැහැ. සතුටේ රහස තමයි, අඩු ගාණේ හිතේ සාමයේ රහස තමයි, කාමය ආදරයෙන් වෙන්කරන හැටි දැනගෙන ඉන්න එක. ඒ වගේම, පුළුවන්කමක් තියෙනවා නං, මිනිසුන් හැමදාමත් විදවන ආදරය ජිවිතයෙන් අයින් කරන එක. ඒ විදිහට, කෙනෙකුට පුළුවන්, හිත සන්සුන් කරගෙන, වැඩි වැඩි දේවල් විදින්න."

විසේකාරි || පරිවර්ථනය ගාමිණි වියන්ගොඩ
The bad Girl || Mario Vargas llosa


Thursday, October 27, 2011

සංගීතයක් ලග මිහිරි තනුවක්ව ඔබ ආයෙමත් පිපෙන්න




ඈත කෙළවරක තියෙන බංකුවක් මත වාඩි වෙලා ඔයා හොරෙන් මා දිහා බලාන ඉන්නවා. ඔයාට කිසිම ඔනේ කමක් තිබුණේ නැහැ ඉස්සරම දවස් වල වගේ දුවගෙන ඇවිත් මාව සිප වැළද ගන්න. ඔයාට ගලක් වගේ ඉන්න පුළුවන් කියලා මං දැනං උන්නට මම කවමදාවත් ඒක විශ්වාස කළේ නැහැ. එත්...... ඒ දේ විශ්වාස කරන්න මගේ ඇස් පනා පිට ඕනෑ තරම් කරුණු කාරනා දිස්වෙමින් තියෙනවා. එත් මම ඇස් දෙක තද කරං හිත ඇතුලින් අඩ අඩා අහක බලාගෙන ඉන්න පුරුදු පුහුණු වෙන්න ඕනී.

වෙරෝනිකා......

ඔයාට වඩා මම ඔයාට ආදරේ කරා. එත් හැමෝම වගේ ඔයත් මාව දාලා යන්න තිරණය කරලා, ඒක මුවින් පිට කරන්න බැරිව ලතැවෙමින් ඉන්නවා. ඔයාගේ තාවකාලික අසනීපය හොද වෙනකං විතරක්මද ඔයා මට ප්‍රේම කළේ....?? ඔයා තුල තිබුණු ආතතිය බැහැර කර ගන්න පමණක්මද ඔයා මාත් එක්ක ආලයෙන් වෙලුනේ....?? එළියේ පවතින සමාජ තත්වය, ධනය වගේ දේවල් පිස්සන් කොටුවක් තුලට බල නොපාන හින්දා විතරක්මද ඔයා මට සැහැල්ලුවෙන් ලං වුණේ....?? 

මම හිතන දේවල් වලට වඩා බෙහෝමයක් ඉස්සරහින් ඔයාගේ ජිවිතේ බල පවත්වන්නේ කියලා මට තෙරෙන්න ගන්නකොට මම සිය දිවි හානිකර ගන්න සුදානම් වෙලා ඉවරයි.

එත් වෙරෝනිකා........
එදා ඒ පියානෝ සංගිතය මුළු වාට්ටුවම වශිකෘත කරමින් ගලා හැලුනේ මගේ ආදරය ඔයා තුල උතුරා හැරෙමින් නටන නිසා නෙවෙයිද....? පිරිමි හිතකින් දෝවනය කල නොහැකි ලෙස මං ඔයාව මාත්තු කලා. ඔයා හිටියේ ප්‍රේමයේ අල්හාදය අභියස. පිටතින් ඇද හැලෙන ධාරාණිපාත වැස්ස පරයමින් ඔයා තුල උණුසුමක් වැඩෙන්නට පටන් ගෙන. ඔයාට  ඔනේ වුණේ අයිස් බරුවක් මත දිග ඇදෙන්න... ඔයාගේ උණුහුම මා තුල දිය කර හරින්න. පියානෝවේ ස්වර එහෙ මෙහෙ වුණා. තවදුරටත් ඒ ගැන ඔයාට වගක් තිබුණේ නැහැ. ඔයා උන්නේ ගිණි ජාලාවක. ඔයාගේ ඇස් අගින් සිසිල් වැස්සක් ඔයා මගෙන් හගිමින් උන්නේ. පුංචි ආලෝක එළියෙන් හරි ඔයාගේ සළිත වෙමින් පිපෙන ශරිරය මට දැක ගන්න පුළුවන් වුණා.

වෙරොනිකා....

මාව පිස්සුව තුල අතරමං කලේ ඔයාමයි. මගේ තුරුලට පැනලා මගේ උණුහුම හොරා ගත්තෙත් ඔයාමයි. ලගට ලං වුණාම ඔයා නළලත සිඹලා ආදරෙන් නළලත අත ගාන්න පුරුදු කළෙත් ඔයාමයි. ඔයාගේ ආදරේමයි. 

ක‍ලින් කලට හීන, බලාපොරොත්තු වෙනස් වුණාට ආදරය එහෙම අතිශය ප්‍රචණ්ඩ ලෙස වෙනස් විමකට ලක් විය හැකිද? මිනිස්සු බලාපොරොත්තු තියන්නේ හීන ක්‍ෂාක්ෂාත් කර ගැනීම ගැන මිස තම තුල වැඩෙන ආදරය ගැන නොවීම කෙතරම් ඛේදවාචිකද...?? 

සංගීතයක් ලග මිහිරි තනුවක්ව ඔබ ආයෙමත් පිපෙන්න...........!!!



Tuesday, October 25, 2011

විසේකාරී_______________



"තාම මා ගැන පිස්සුවෙන්ද ඉන්නේ? "
ආලවට්ටම් රහිතව කතාව ආරම්භ කළේ ඈය.

"මං හිතන විදිහට, ඒක තමයි මගේ කරුමේ." 
කම්මුල් රතු කරගෙන වුවද මම පිළි ගතිමි. 

"එහෙම නොවුණත් අද දැක්කට පස්සේ අළුතින් පිස්සු වැටෙන්න තිබුණා. ඔයා හුගාක් ලස්සන වෙලා, ඒ වගේම, අගේට වැදගත් වෙලා. මං දකින දේ ඇත්තක්ද කියලා මට විශ්වාස කරන්න බැරි තරමට."

---------------------------------------------------------

"එදා මාව කියුබාවට යවන්නේ නැතිව, ඔයත් එක්ක පැරීසියේ නතර වෙන්න මට ඉඩ හැරියා නං, අපි දෙන්නා කොච්චර කල් එකට ඉන්න තිබුණා කියලද ඔයා හිතන්නේ?"

"අපේ මුළු ජිවිත කාලෙම. මැරෙනකල් මාව අතහැරලා නොයන තරමට මං ඔයාගේ ජිවිතේ සැපවත් කරන්න තිබුණා. "

විහිළුව නතර කළ ඈ මා දෙස බැලුවාය. ඒ බැල්ම බරපතලය. තරමක් සාවඥය. 

"මොනතරම් නෝන්ජල් සිහින ලෝකෙකද ඔයා ඉන්නේ...."
සෑම අකුරක්ම නිරවුල්ව උච්චාරණය කරමින් ඈ කිවේ මාව සිය දෑසින්අභියෝගයට ලක්කරමිනි. 

"ඔයා මාව දන්නේ නැහැ. මුළු ජිවිතේම එක පිරිමියෙක් එක්ක ඉන්නවා නං, ඒ පිරිමියා හුගාක් පොහොසත්, බලවත් කෙනෙක් වෙන්න ඔනේ. අවාසනාවකට වගේ, ඔයාට කිසි දවසක එහෙම පිරිමියෙක් වෙන්න පුළුවන් කියලා මං හිතන්නේ නැහැ."

"සැපත කියන්නේ සල්ලී නෙවෙයි නං?"

"සැපත.... මං දන්නේ නැහැ ඒ මොකක්ද කියලා. ඒ ගැන මගේ තැකීමකුත් නැහැ. මට විශ්වාස එකම දේ තමයිඔය කියන සැපත, ඔයා හිතන විදිහේ විචිත්‍ර, ළාමක දෙයක් නෙවෙයි කියන එක..... "

--- විසේකාරී පරිවර්ථනය || ගාමිණි වියන්ගොඩ---
--- The Bad Girl || Mario Vargas Llosa ---


Wednesday, October 19, 2011

ආදරය ඔබ වෙන්න______________



"ස්ත්‍රී ශක්තිය වෙනුවෙනුත් භාවනාව සිදුවෙනවා. නමුත් ඒ ගැඹුරු ආදරයක් මිශ්‍රවීම තුල විතරයි. ඉන්පසු ඇයට තනිව හිදිය හැකි වෙනවා. ඉන්පසු එතැන ගැටලුවක් නැතිව යනවා. ඒ ඇයි...? දැං ඇයට කිසිවිටෙකවත් තනිවිය නොහැකි නිසා. කලින් ආදරය කල දෙය දැං මිශ්‍රවෙලා. දැං එය ඇය ඇතුළතම තිබෙයි. 
මීරා හෝ රාධා හෝ තෙරේසා. ඔවුන් සියලු දෙනා අත්පත් කර ගනුයේ ආදරවන්තයෙකු හරහායි. ඒ කියන්නේ ක්‍රිෂ්ණා, ජේසු...... හරහායි. "

ඕෂෝ_________

වෙරෝනිකා.....
ගැහැණියක් කියන්නේ කිසි විටෙකවත් පිරිමි රාමුවකට හසුවන්නේ නැති දෙයක්... එත් සදාකාළිකවම ඔවුන් උත්සහා කරමින් ඉන්නවා. තමන්ගේ සාලයේ බිත්තියක ඒක එල්ල ගන්න. පිරිමින් සදා දෙන රාමුවක මුලදි ගැහැණිය ඇතුල් වුණත් ඇය කිසිදිනෙක එවන් පටු රාමුව උන්නු එකියක් නෙවෙයි. මොන මොන කරුණු කියලා හරි ඇය එයින් පැන දුවනවා, එක විශ්ව චක්‍රය වගේ හැමදාකම සිදුවෙනවා. 

විවේකී මොහොතක ගෙන සාවදානව සිදු වු/ සිදුවන දේ දිහා පරික්ෂාකාරිව බලා සිටින්න. තවදුරටත් ඔබට ඇති දැණුම, ඔබගේ තත්වය, ඔබගේ අවබෝධය එයට ගාව ගන්න එපා. සැහැල්ලු මනසින් වෙන දේ දිහා විතරක් බලා හිදින්න. ඔයාට පේනවද ජිවිතය තුල ඔබට මග හැරී ඇති චලනයන් ප්‍රමාණය. ඒ දෙවියන් වහන්සේගේ වැරැද්දක් නෙවෙයි. එක ඔයාගේ අතපසු වීමක්....



Tuesday, October 18, 2011

ආයෙමත් ආදරේ................




වෙරෝනිකා....
බොහෝම ඉස්සර දවසක මං ගෙනාපු රතු රෝස මලක් ඔයා මගේ දෑස් ඉදිරිපිට පොඩි කරලා චප්ප කරලා දැම්මා..... මම මගේ හිත ඒ වෙලාවේම කීතූ කීතු වෙන්න පොළවේ දමලා ගැහුවා... බලන්න වෙරෝනිකා මං කොච්චර අත්මාර්ථකාමිද කියලා, පොඩි දරුවෙක් බලා ගන්නවා වගේ ආදරෙන් හුරතලෙන් මං ඔයාට ප්‍රේම කළේ. එත් අද ලස්සන වෙන කොළඹ එක්ක මං තනියම......

වෙරෝනිකා....
මට ආයේමත් වෙනස් විදිහට ආදරේ කරන්න ඔනේ... මං මොහොත එන තුරු සිරුවෙන් කල් මරමින් ඉන්නවා.... ඔයා ගොඩාක් දුර ඈත යන්න පිඹුරුපත් හදාගෙනත් ඉවරයි...
ඔයා හිනා වුණා... බෙහෝම නරක විදිහට..... මගේ උන්මත්තකකමට.....ඔයාට අමතක වෙලා ගිහිං උන්මත්තක අයුරින් මට ප්‍රේම කරපු හැටි.... ඔයා දැං යස අගේට රගපානවා... නළි අග රැජින වගේ.... මම හැමදාම පරාජිත ප්‍රේමවන්තයා වගේ ඉස්සරහාම සීට් එකේ ඉදන් විසිල් ගහාලා දුක පුරෝගෙන ගෙදර එනවා..... 

වෙරෝනිකා....
ඔයාට අමතක වෙලා ගිහිං ආදරේ ඇරෙන්න මට වෙන දෙන්න මුකුත්ම මා ලග නැති විත්තිය, කොන්දේසි විරහිතව අනෙකාට ආදරේ කරන්න එපා කියලා ඔයා මට උගන්වමින් ඉන්න අතර තුරේ මං දෑස් අයාගෙන ඉන්නවා.... මා අවට දැවටෙන පුංචි සුළග ගැන සෝදිසියෙන්.මං උත්සහා කලේ මගේි ආදරේ හැම අස්සක් මුල්ලකින්ම ඔයා තුලට කාන්දු කරවන්න එත් ඔයා මට ඇතුල් වෙන්න තියෙන හැම දොර කවුළුවක්ම තදින් අගුල් දාලා වහාගෙන..... එත් මං මගේ උතුරා හැලෙන හදවතත් විවර කරගෙන උනන්දුවෙන් බලා ඉන්නවා......

ආදරේ කියන්නේ මාව හැම මොහොතකම ඉදිරියට තල්ලු කරවන ජිවත් කරවන එකම දෙයයි. මම ආයෙමත් ආදරය සොයාගෙන නන්නත්තාරයේ යන්න පුරුදු වෙන්න ඔනී...... මේ කොළඹ ම පාළු වුණත් මම ආදරේ හොයා ගන්නවා......

වෙරෝනිකා................



Monday, October 17, 2011

ඇය නික්ම යෑමට සුදානමින්_______________???




සිනහව, කදුළල, ආදරය, විරහාව, වේදනාව, අතැහැරයාම් හා සිත් රිදවීම් දේශ සීමා විරහිතව මනුෂ්‍ය සන්තානයට දැනෙනුයේ එකම ආකාරයකටය. මිනිස්සු ආදරයෙන් බැදෙන්නේ කොච්චර පුංචි වෙලාවකටද? පස්සෙන් පහු කරුමයක් පලිසන් දෙනවා වගේ කරේ තියාගෙන බොහෝම වේදනාවෙන් සබදතා දුර දිග ගෙනියනවා. 

වෙරෝනිකා.....
රෝස මලක් දෑතින් පොඩි කරලා මිරිකලා ආදරේ මකන්න පුළුවම් වුණා නම් එහෙම වුණාදෙන්...... මහා අනෝරා වැස්සක් මැද්දේ කදුළු වගුරුවා ආදරේ මකාලන්නට හැකිනම් එහෙම වුණාදෙන්..... එත් වෙරෝනිකා..... මට කියලා දෙන්න මා යනෙන හැම තැනකම පසු පසින් එන මේ අතීතයේ ශේෂයන් මග හැර ගන්නා ක්‍රමවේදයක් තිබේද...?? 

ප්‍රේමය තුල පොඩ්ඩක් හරි අනෙකාව ඉවසන්න පුරුදු පුහුනුව හිදිම අවසානයේ කරුමයක් කියලා කන් දෙකින් අහනවා තරම් වේදනාවක් කිසි දිනෙක ඔබ අත්විද තිබේද...? හැම ප්‍රේම කතාවකම සැගවුණු ඛේදාන්තයක් ගැබ්ව ඇත. අපි ආදරේ කියලා මොකක්දෝ උගුලක අහුවෙලා.
වෙරෝනිකා.....
අපි ඉක්මනට මේ උගුලෙන් පැනලා යමු...!! එහෙම නැතැත් සමහර විට ඔයා මේ උගුලෙන් පැනලා තව උගුලකට අහුවේලාද මංදා....

ආදරය, විරහාව කදුල ජිවිතේ ත්ව්ර කරනවා. සමහර විට මේ මගේ කතාව වෙන්නත් පුළුවන්........



Monday, September 26, 2011

සමහර විට ඇය තවමත් බලාගෙන ඇති_______



ගැහැණියෙක් සමහර විට කිසිම දෙයක් ඔබෙන් ඉල්ලන්නේ නැහැ. හැමදේයක්ම ඉල්ලන වෙලාවට වැඩිය කිසිවක් නොඉල්ලා සිටින වෙලාව ගැන ඔබ විමසිලිමත්ද? ඒ ඇය තුල වන ප්‍රේමණිය දෙවගන කලඑළි බහින වෙලාවයි. ඇගේ සෑස් වලට එබෙන්න ඒ හොදම වෙලාවයි. මුසපත් වෙන්න. මේ ආන්ධකාර රාත්‍රිය තුල අලෝකයක් හොයා ගන්න ඇගේ දෑස් තුලටම එඹෙන්න. ඇය තුල වන ඔබව ඈ තුලම වැඩෙන්නට ඉඩ හරින්න. ඔබ නැතිව ඇයට වෙනින් සරණක් කොහේද? 
කෙඩෙත්තුවෙන් විඩාබර ව ඇති හිත සැහැල්ලු කර ගන්න මදක් ඇය මත සැතපෙන්න. ඇය ලෝකයක්.. ඔබව දරා හිදිනා ලෝකයම ඇයමයි. තහංචි සීමාවලින් බැද දමා හිර කර ඇති ඔබේ හැගීම් වලට ඇය මත තටු ගසා පියාඹා යන්න ඉඩ හරින්න. ගිණියම්ව ඇති ඔබට සිසිලසක් දැනෙන්නේම ඒ ප්‍රේමණිය දෑස් ලගම විතරයි. 


ආදරය කරන්න ඔබ සුදානම් ද...??



ආදරය නිර්-හිමිකාරකමක්. ආදරය යම් කෙනෙක් සමග කරන්න ඇති දෙයක් නෙවෙයි. එය ඔබගේ පැවැත්මේ තත්වයයි. ආදරය කියන්නේ සම්බන්ධතාවක් නෙවෙයි. සම්බන්ධතාවක් ඇති කර ගන්න පුළුවන්, නමුත් ආදරය සම්බන්ධතාවක් නෙවෙයි. සම්බන්ධතාවක් පවතින්න පුවවන් නමුත් ආදරය එයට සීමා නොවු ඊට වඩා වැඩි යමක්.

ඔබ ආදරවන්තයෙක් බවට පත් වෙන්න කලින්, ඔබ ආදරය බවට පත්වෙන්න ඔනේ. මිනිස්සු හිතන්නේ ඔවුන් ආදරය බවට පත්වෙන්නේ ආදරවන්තයින් බවට පත්වීමෙන් පමණයි කියලා. ඔබට ආදරය නැතිව ආදරවන්තයෙක් වෙන්න බැහැ. 

ප්‍රේක්ෂකයකු රහිතව ඔබට නර්තනයේ යෙදෙන්නට පුළුවන්. ඒ වගේම, ඇයි ඔබට ආදරය කරන්න බැරි එතැන යම් කෙනෙක් නැතිව? ඔබේ මනස වැරිදී අන්දමට තත්වාරෝපණය කරලා. ඔබ හිතන්නේ ඔබට ආදරය කරන්න හැක්කේ එතැන ආදරය කරන්න යමෙක් ඉන්නවා නම් පමණයි කියලා. 

කවුරුත් මත යැපෙන ආදරයක්, බොහෝම දුප්පත් ආදරයක්. ඔබගේ ඇතුලාන්තය නිර්මාණය කලා වු ආදරය, ඔබගේ පැවැත්ම තුලින්ම ඔබ නිර්මාණය කරන ආදරය තමයි සැබෑ ශක්තිය. 

ආදරය එය හැටියටම විකසිත විය හැක්කේ එය ඉල්ලා නොසිටීමේදීය. එය කේවලයක් නොවුනාමයි. එය තමන්ම එන විටදී, අවිඥාණිකව පවා, එය අතිශය ලස්සනක් තිබේනවා. ආදරය හට ගන්නේ නිදහස් මිනිස්සු දෙදෙනෙක් අතරයි. එකිනෙකාගේ වහල්ලු දෙපළක් අතර නෙවෙයි. 

ඕෂෝ සංවාද || ජෝ. සෙනවිරත්න

පත්තු වු ආලය_________



හිරු මා මත දිදුලමින්, නිරුවත් මා සිරුර උණුසුම් කරමින් සිටියේය. තවදුරටත් සීතලක් මට නොවීය - මම උණුසුමින් ඇවිලී යමින් සිටියෙමි. උණුසුම් පුපුරු ගිණි දැල්ලක් බවටත් ගිණි දැල්ල උත්සවාග්නියක් බවටත් උත්සවාග්නිය අවීචියක් බවටත් පත්වන බව මම දැන සිටියෙමි. මට ඇවැසි වුයේ මෙයයි. 

මේ නිමේෂයේ පටන් සුවර්ගයේත් - නිරයෙත්, සංතෘෂ්ඨියේ සහ වේදනාවෙත්, ස්වප්නයන්ගේ සහ බලාපොරොත්තු විරහිත භාවයේත් අත්දැකීමට මා මුහුණ දෙන්නට යන බව මම දැන සිටියෙමි. නමුදු මගේ ආත්මයේ සැගවුණු අහුමුළු වලින් හමා එන සැඩ සුළං තවදුරටත් දරා හිදීමට තරම් ශක්තියක් මට නොවීය. මෙතැන් පටන් ආදරය මගේ මග පෙන්වන්නා බවට පත්වන්නට යන බව මම දැන සිටියෙමි. ආදරය යනු කුමක්දැයි පළමු වරට මට හැගී තිබු මගේ ඒ ළමා වියේ සිට මේ දක්වාම එය මා මෙහෙයවන්නට බලා සිටියේය. 

සැබෑව නම් ආදරය වෙනුවෙන් සටන් වැදීම නොවටිනේ යැයි මට හැගී තිබුණු මුත්, කිසි දිනෙක එය මට අමතකව ගොස් නොතිබුණු බවයි. එහෙත් ආදරය දුෂ්කර යමක් විය. එහි දේශසීමා පැන යාමට මම අකමැති වීමී. 

--- පියෙද්රා ගගබඩ හිද මම වැළපුනෙමි || Paulo Coelho ----
පරිවර්ථනය || පියල් ජයරත්න‍\ අනුෂයා කොල්ලුරේ 


Sunday, September 25, 2011

මා තුලම සොයන නුඹව_____________



පිරිමි ආත්මයක් කියවන්න ඒ මිනිහත් එක්ක බුදිය ගන්න ඔනේම නැහැ කියලා තමයි මං අහලා තියෙන්නේ. එත් මුළු ජිවිත කාළයස බුදිය ගත්ත ගැහැණියව කිසිම දවසක තේ‍රුම් ගන්න බැහැ කියලා තමයි මම දන්නේ. එය දෙකම පිළිබද විවිද මත තිබුණත්, ගොඩාක් වෙලාවට ගැහැණු හා මිනිස්සු කරන්නේ වළිගේ පාගගෙන දගලන එක.

සමහර වෙලාවට මෙහෙම දේවලුත් වෙනවා, කලින්ම තමන් සදා නිම කරන ලද කුටුම්භයක් තුල එහෙම නැත්නම් තමන්ගේ හීන ලෝකය තුල ඇති දේ සදහා මිනිස්සු එක් එක් අයව ආදේශ කර ගන්නවා. පස්සේ පහු ජිවත්වෙද්දි තමන්ගේ කුටුම්භය හරි සිහින පරිකල්පන ලෝකය හරි කුඩුවෙන්න ගත්තම තමන්ට එන ආතතිය විසින් ගෙන එනු ලබන්නේ ප්‍රචණ්ඩත්වයක්ම පමණයි. මානුෂිය සබදතාවලදි තමන් කවුද තමන්ගේ හීන මොනවාද කියන දේ මොහොතකට අමතක කර තමන්ට විවෘත්ත සිටින කෙනා දිහා බලන්න තරම් ආත්ම ශක්තියක් අපි තුල නැහැ මං හිතන්නේ. අපි, අපිට විවෘත වු අය ගැන ඔහුගේම කොටසක් ගෙන හදවතේ ගැඹුරුම තැනක සනිටුහන් කර ගත්තා නම් මගදී අත්වැරිදීම් වෙන්නේ නැහැ කියලයි මං හිතන්නේ. එත් දිගින් දිගටම ඒ ආකාරයේ අත්වැරදීම් නිසා මිනිසුන් සිත් රදව ගනිමින් ඉන්නවා. දැංවත් ඇත්ත කියන්න.....

වෙරෝනිකා....

මං ඉස්පිරිතාලයේ ඉන්න කාළේ මිනිසුන්ට මං ගැන තිබුණේ එක එක කතා. ඒ බෙහෝමයක් ඔවුන්ගේ හිතලුන්. මට ඒ කිසිවෙකුට එහෙම නෙවෙයි මෙහෙමයි කියලා කියා දෙන්න තරම් ඇබින්දක්වත් ඔනේ කමක් තිබුණේ නැහැ. හැබැයි පස්සේ කාළේක ඔයත් මගෙන් ඒ කතා මොනවද කියලා අහලා තිබුණා. 
වෙරෝනිකා
මනුෂ්‍ය සම්බන්ධතා ඉහිරිම ඇතුලේ සිදුවු මානසික අසමතුලිතතාවක් නිසා මට රෝහල් ගත වෙන්න වුණා. අපි එකම වැරැද්ද ජිවිතයේ ආයේ ආයේමත් කරමින් ඉන්නේ ඇයි. පත්තු වෙන ඇස් දෙකක් ටික කාලෙකින් පත්තුවෙන්නේ වෙනත් බලාපොරොත්තුවකට කියලා දුර තියාම දැන ගන්න ක්‍රමවේදයක් අපිට ඇත්තෙම නැද්ද...??? ආදරය කරන මිනිස්සුන්ට හරි වැරැද්දක් කියලා දෙයක් නැහැ. ඔවුන් හැමදේම කරමින් ඉන්නේ ප්‍රේමය වෙනුවෙන්. ඒක ලොකු කැපකිරීමක්. කිසිදවසක ලෝකයාට හෙළීදරව් නොවන බාහිරට නෙපෙනෙන කැප කිරීමක්. 
හිරේ වැටුණු මිනිහා අහන්නේ මට කොහොමද මෙච්චර ලොකු දඩුවමක් දෙන්නේ කියලා නඩුකාරයගෙන්, එත් ඒ දඩුවම හරි ලැබෙන්නේ නැහැ එයා වැරැද්දක් නොකර හිටියා නම්. ඇස් පියන් වැසු සැනින් ලෝකය අනික් පැත්ත පෙරළෙන්න පුළුවන් කියලා අපි හැම වෙළේම සිහියේ තියාගෙන ඉන්න එක හොදයි කියලා ඔයා මට උගන්වමින් ඉන්නවා.

එත් වෙරෝනිකා.....
ආයේ ආයේමත් මට එකම වැරැද්ද කරන්න ඔනේ කමක් එන්නේ මාව පුරවන්න බැරි තරම් විශාල නිසාද...?? එතකොට කාටද පුළුවන් කමක් ලැබෙන්නේ මාව සංතෘප්ත කරන්න. මම හැමෝම ව සංතෘප්ත කරලා බලද්දී මාව හිස්වෙලා... අන්තිම අඩියටම හිස්වෙලා....
ඉතිං... මට ඔනේ මාව සංතෘප්ත කර ගැනීමට....
ඔයා අරංආපු රමණීය සංතෘප්තිය තියෙන්නේ මරණිය ඇල්කොහොල් වල පමණයි දැං මට......
ජිවිතයේ සිදුවන මග හැරීම් වලට තියෙන දඩුවම තිරණය වන්නේ අපි අනෙකාට දක්වන ආදරය මතයි. එහෙම දේවල් ලෝකයේ කෙහේවත් පවතින්නේ නැති විත්තිය නගරේ පුරා කරක් ගහලා මං දැං ඉගෙ‍න ගනිමින් ඉන්නවා. උන් හිටි ගමන් මිනිසුන්ට ඈත්ව, අතහැර යන්න පුළුවන් තරම් ආවේගයක් තම පපුව තුල හිර කරගෙන බොහෝම ආදරණිය ලෙස ජිවත් වෙන්න පුළුවන් ක්‍රමවේද සහිත මිනිසුන් මගේ ඇස් දෙකින් මං දකිමින් ඉන්නවා. ඒ අතර ඔයත් හිටියොත්.....???

මං ඔයාට ආදරේයි......

ආ   මේ   න්.......


Saturday, September 24, 2011

ආයේමත් තරු පිපේවී_______________


ප්‍රේමයෙන් මත් වුණ මිනිහෙකුට රැයක දිග මත වැතිරී නිවී නිවී දැල්වෙන දෑසක් දෙස බලාගෙන ගී කියන්නට ඇත්නම්, සත්‍ය වශයෙන්ම හෙතම භාග්‍යවන්ත වන්නේය. 

මුළු රෑය පුරාම හීන් හඩින් ඇගේ කනට ලංව උතුරා යන ප්‍රේමය කොදුරන්නට හැකිනම් ඒ රැය පරිපුර්ණම රැයක් වනු නොඅනුමානය. 

ඇගේ සුමුදු දෙකම්මුල් මත රළු දෙතොල් තියා ඇයව ආලය තුල කළම්ඹන්නට හැකිනම්, එක උත්තරීතර රැයක් වේවී.....

රෝස පැහැ ඇගේ දෙතොල් පෙති මතින් ඇයව රස බැලීමට හැකිනම්, ඇගේ සියුමැලී දෙකන්පෙති දිව අගින් තෙත් කල හැකිනම්, නිවී නිවී දැල්වෙමින් අඩවන් වන ඇගේ දෑස් මත හාදුවක් වී පිපෙන්නට හැකිනම්, ඒ ඔබේ අමරණියම රාත්‍රීය වේවි.......


වෙරෝනිකා......

හීනයකට තියෙන්න පුළුවන් දිග ගැන මොනාකාරයේ මතිමතාන්තර තිබුණත් මං හිතන්නේ ප්‍රේමයක් ගැන මිනිසුන් ආත්මයෙන් ආත්මයට එකම හීනයක් දකිමින් සිටින බවයි. කිසිම විටෙක තමන්ට පරිපුර්ණ කර ගත නොහැකි, හැමවිටම තමන්ගේ හීන ලෝකයේ පමණක් සැරිසරණ එවන් ප්‍රේමයන් කීයක් නිසා පෙම්වතුන්/පෙම්වතියන් වැළපෙන්න ඇත්ද...?

මේ මුළු අහසම වෙනදාට වඩා දීප්තියකින් අද බබළනවා. මේ තාරකාවන් ගැබ්බරවෙන්න පටන්ගෙන. මේ තාරකවන් පිපෙන කාළයයි. 
වෙරෝනිකා.....
කලින් සාදවා නිම කල නාට්‍ය ජවනිකාවක් වගේ ජිවිතය ගෙනියන මිනිසුන්ට ආත්මයක් බරට ප්‍රේම කරන්න තව ගොඩා කල් යාවී. මේ තරු පූදිනා රැයක් ගැන කවි ලියන්න මේ මිනිසුන්ට තවත් බොහෝ කල් යාවි.

වෙරෝනිකා....
හැමදෙයක්ම අරගෙන මගේ කවි හිත විතරක් මට දෙන්න..........