Monday, February 27, 2012

ආදරේ වැස්සක්ව______________



පුංචි පුංචි වැහි බිදු ගොඩාක් වෙලා වැටිලා මහන්සියටදෝ කොහෙද දැං මහා හයියෙන් වැස්ස වැටෙන්න පටන් ගත්තා. මැලවිලා තිබුණු පුංචි ඉපනැළි එකිනෙකා පරයමින් ඉස්සි ඉස්සි වැස්සේ නාන අපුරුව. ඈත ලයිට් කණුවකින් විසිකරන මලානික නියෝන එළිය හිල් කරගෙන ඝණ වැහිබිංදු පොළව මත පතිත වෙනවා. පොළව ඒ වැහි බිදු වලට තියෙන ආදරේ තරමක්. හරිම සුරක්ෂිතව හරිම ආදරේන ඒ වැහිබිදු පොළව වැළද ගන්න හැටි අරුමයක්.

වෙරෝනිකා........
අපි ආයෙමත් වැස්සේ නටමුද...? අර ඉස්සරෝ ම දවස් වල වගේ ඇදුම් තෙත් ‍වෙලා ඇගටම ඇලෙනකම්.
ඔයාට මතකද මිනිස්සු අපි දිහා බලං හිටියේ කටවල් ඇරගෙන, 

ඇත්තමයි වෙරෝනිකා...
උන් බලං හිටියේ වතුරට පෙගුණු ඔයාගේ ශරීරය දිහා.......
ඔයාට මතකද මංදා ඒ දාහක් රකුසු ඇස් වලින් මං ඔයාව ගලවගෙන පුංචි පෙට්ටි කඩයකට ඔයාව ඇදගෙන ආවා, දුං දාන උණු උණු කොපි කොප්පයක් දෙපැත්තේ සීතලින් වෙවුලන තොල් දෙකක්...... තොල් දෙකෙන් නික්මෙන් අළුත් බලාපොරොත්තු ගොන්නක්.......  වචන නැතිව ජිවිතේ  කියවන ඇස් යුගලවල් දෙකක්........ මේ හැම මැදින් හීනියට ඇදෙන ලා දුම් රැල්ලක්.......

ආහා........ ඒ කෝපී කොප්පයේ සුවද......

ඔයාගේ නහය දිගේ පුංචි පුංචි වතුර බිංදු ගලං ඇවිත් නහය අග වැනි වැනි තියෙනවා. ඔයා හිටියේ පොඩි එකෙක් වගේ උද්දාමයෙන්, හරිම ත්‍රාසජනක වැඩක් කරලා වගේ..... ඔයාගේ ඇස් පෙට්ටි කඩේම ආලෝකමත් කලා. පුංචි කුප්පි ලාම්පුවට වඩා එළියකින් ඔයාගේ ඇස් දිළිසෙමින් තිබුණා. ඒ දිළීසිමෙන් මගේ හිත පත්තුවෙලයි තිබුණේ. නා කපන වැස්සේ තෙතබරිතව වුනත් මං හිටියේ ගිණි ගනිමින්. ඔයා වඩ වඩාත් දිලිසෙන්න උනා.

මහා හයියෙන් ගහපු අකුණු සැරයකට බයවෙලා කෝපි කොප්පයත් මගේ ඇගට හලාගෙන ඔයා මට තුරුල් වුණා, උණුහුමයි ආරක්ෂාවයි දෙකම හොයාගෙන. 

වෙරෝනිකා.......
ඔයා මගේ බෙල්ල වැරෙන් බදාගෙන උන්නේ..... ඔයාගේ දෙතොල් මගේ ගෙල දිගේ උණුහුමක් හොයමින් සක්මන් කරනවා............... 

පුංචි තණකොළ ගස් යට වෙන්න තරම් දැං වතුර.
වෙරෝනිකා....
මං නම් තනියම තෙමෙනවා......
ඔයත් එහෙමද ඔහේ....!

Thursday, February 23, 2012

ලෝකය භ්‍රමණය වේ_____________


රත් වුණු ඉර එළිය විසින් මුළු හවස් කාළයම වර්ණවත් ලෙස පාට කරමින් හිටියා. කාටවත් ඒ වර්ණ භාවිතාව ගැන වගක් තිබුණේ නැහැ. මං හිටියේ තහනම් කලාපෙක දුම්වැටියක් උර උර..... බිම ඇණ තියාගෙන, නව යොවුන් යුවතීයෝ මෙන්ම මැදිවියේ යොවුන් යුවතියෝ ද මා දෙස පුදු‍මයෙන් මෙන් බලමින් ගියා. කල්ලී පිටින් ඇදුණු අය මගක් ගොස් මට හොදටම හිනා වෙන හඩ ඇසුනා. 
තමන් විසින් තමන් ගැන සාදාගත්  බරක් උස්සාගෙන සිටිනවාදැයි ඔවුන් කිසිවෙකුටවත් ගණනක් තිබුණේ නැහැ. එත් බර බිමින් තියා සැහැල්ලුවෙන් හිදින මට සියල්ලෝ ම සිනාසුනහ. සමච්චලයටත් ඉරිසියාවටත් ඔවුන් මට සුණාසුනහ. අනුන්ගේ කැමැත්ත අකමැත්ත ගැන වගක් කිසි කළේක තිබුණේ නැති මම, මගේ පාඩුවේ හිරුගේ මනස්කාන්තික පෙලහැර පෑම දෙසම බලා හිටියා.

මම හිටියේ ඒ චිත්‍රයෙන් වශිකෘත වෙලා. එත්.....ඔයාට මතකද ඒ සුවද? ඒක බේබික්ලෝන් සුවදක්......... හුරුපුරුදු ක්ලෝන් සුවදක්! මගේ දැහැන් බිදගෙන මටත් හොරෙන් මගේ හිත පරණ ඈතක.
හමස් පෙට්ටි අදිනවා සේ මතකය තුලට ම ඇදී ගොසින් මගේ හිත ඒ සුවද හොයනවා. ඒකේ මුල් හොයනවා. 

වෙරෝනිකා.....
ඉස්සර හැම වෙලාවෙම ඔයා ලගින් වහනය වන සුවද! ඔයාටත් හොරෙන් මං හැදාකම ගෙදර අරං ගිය සුවද! ඔයා ලග නැති වුණත් මට ඉතිරි වුණු එකම අරුත..........
ඒ සුවද........

මම මගේ දෑස් ඉරෙන් මෑත් කලා. තද ආලෝකයට නිරාවරණය වෙලා තිබුණු ඇස් දෙක පාට පාට සමනළියන්ගේ විච්චුරණයෙන් තවත් ගිණි කන වැටුණා. හැබැයි ඒ දෙනෝදහක් දෙනා අතරේ සංසාරිකව මං පතන රූව මා මග හැර ඉදිරියට ඇදෙනවා.

වෙරෝනිකා..........

මං හුන්තැනින් නැගිටමින් කෑ ගැහුවා.... නැහැ.... මට මො‍කක්දෝ වෙලා කෑ ගැහුණා.

වෙරෝනිකා.....
මං දකින්න ආසම ඔයාගේ ඇස්. ඉස්සර වගේම ඒවා තවම මායාකාරියි. මං දන්න කාලේ කොටට තිබුණු කොණ්ඩය දැං හරි දිගයි හරියට ඔයා මට දුරයි වගේ.

වෙරෝනිකා.....
තාවමත් ඔයත් මාත් අතර පරතරයක් ලොකුත් නැති පොඩිත් නැති පරතරයක්. ඔයා ඉස්සර හැමතිස්සෙම කිව්වේ මේ පරතරය විසින් කවදාක හරි අපිට අපි නැති කරන විත්තිය. 

ඔයාට කොහොමද....?
තිගැස්මෙන්ම ඔයා ලග තිබුණේ සිනහවක්. දැං ඔයාගේ ඇස් ඉස්සර වගේ කතා කරන්නෙත් නැහැ වෙරෝනිකා....

ඔයා මොකද පාරේ ඉදගෙන කරන්නේ?
හැමෝටම තිබුණු ප්‍රශ්ණේ ම ඔයා මගේන ඇහුවා.

මං බෝධිසත්වවරයෙක්........ බුදුවෙන්න පෙරුම් පුරනවා......

ඔයාට මහා හයියෙන් හිනා ගියා..... ඇත්තටම ඔයාට හිනාව නවත්ත ගන්න බැරිවුණා, බස් ස්ටෑන්ඩ් එකේ හිටපු හැමෝම අපේ දිහා බැලුවා. ඒ ප්‍රශ්ණාර්ථ ඇස් නාභි ගත වෙලා තිබුණේ මට ඔයාට නෙවෙයි. මට ලැජ්ජත් හිතුණා වෙරෝනිකා. 

ඔයා තාම හිනාවෙනවා.......
ඔව් ඔයා තාම මට හිනා වෙනවා

ඔයා ඔහෝම හිනාවෙනකොට හරි හැඩයි......

Monday, February 13, 2012

ආදරේ මේ තරම් නිසා_________


ප්‍රේමය එයටම ආවේණීක වු විධික්‍රමයන්ගෙන් හැම විටෙකම අපි අතර සැරිසරමින් ඉන්නවා. එත් වෙරෝනිකා අපිට ඉස්පාසුවක් නැහැ අප අවට නිරන්තරයෙන් සැරිසරමින් තිබෙන්නා වු ප්‍රේමය අතිවිදිනට. අපි ජිවිතය කියමින් කාළකණ්නි මජර ක්‍රමවේදයක පැටලිලා ජිවිතේ සංවේදනාවක්, ස්නායු ගැහීමක් නැතිව මළමනිසුන් සේ ජිවිතය ගො දමමින් ඉන්නවා.


වෙරෝනිකා...........
ඔයාගේ කේශනාලිකා පවා මගේ ආදරයෙන් මුසපත් වෙලා උන්නේ. පුංචි පිණි බිදුවකින් ගත කීරී ගැහෙන්නා සේ මගේ ප්‍රේමය තුල ඔයා උන්නේ උන්මත්තිකාවක් සේය.
වෙරෝනිකා.........
නිද්‍රවක උන්නු මාව පත්තු කළේ ඔයාමයි. දැං මේ වාන් දමන ප්‍රේමයේ තනි උරුමක්කාරියත් ඔයාමයි.


එන්න ආයේමත්
දින සීයයයේ පාළමක් යටදී ප්‍රේමයෙන් අතුර වෙන්න......


මං ආදරේ යි........................