Monday, February 27, 2012

ආදරේ වැස්සක්ව______________



පුංචි පුංචි වැහි බිදු ගොඩාක් වෙලා වැටිලා මහන්සියටදෝ කොහෙද දැං මහා හයියෙන් වැස්ස වැටෙන්න පටන් ගත්තා. මැලවිලා තිබුණු පුංචි ඉපනැළි එකිනෙකා පරයමින් ඉස්සි ඉස්සි වැස්සේ නාන අපුරුව. ඈත ලයිට් කණුවකින් විසිකරන මලානික නියෝන එළිය හිල් කරගෙන ඝණ වැහිබිංදු පොළව මත පතිත වෙනවා. පොළව ඒ වැහි බිදු වලට තියෙන ආදරේ තරමක්. හරිම සුරක්ෂිතව හරිම ආදරේන ඒ වැහිබිදු පොළව වැළද ගන්න හැටි අරුමයක්.

වෙරෝනිකා........
අපි ආයෙමත් වැස්සේ නටමුද...? අර ඉස්සරෝ ම දවස් වල වගේ ඇදුම් තෙත් ‍වෙලා ඇගටම ඇලෙනකම්.
ඔයාට මතකද මිනිස්සු අපි දිහා බලං හිටියේ කටවල් ඇරගෙන, 

ඇත්තමයි වෙරෝනිකා...
උන් බලං හිටියේ වතුරට පෙගුණු ඔයාගේ ශරීරය දිහා.......
ඔයාට මතකද මංදා ඒ දාහක් රකුසු ඇස් වලින් මං ඔයාව ගලවගෙන පුංචි පෙට්ටි කඩයකට ඔයාව ඇදගෙන ආවා, දුං දාන උණු උණු කොපි කොප්පයක් දෙපැත්තේ සීතලින් වෙවුලන තොල් දෙකක්...... තොල් දෙකෙන් නික්මෙන් අළුත් බලාපොරොත්තු ගොන්නක්.......  වචන නැතිව ජිවිතේ  කියවන ඇස් යුගලවල් දෙකක්........ මේ හැම මැදින් හීනියට ඇදෙන ලා දුම් රැල්ලක්.......

ආහා........ ඒ කෝපී කොප්පයේ සුවද......

ඔයාගේ නහය දිගේ පුංචි පුංචි වතුර බිංදු ගලං ඇවිත් නහය අග වැනි වැනි තියෙනවා. ඔයා හිටියේ පොඩි එකෙක් වගේ උද්දාමයෙන්, හරිම ත්‍රාසජනක වැඩක් කරලා වගේ..... ඔයාගේ ඇස් පෙට්ටි කඩේම ආලෝකමත් කලා. පුංචි කුප්පි ලාම්පුවට වඩා එළියකින් ඔයාගේ ඇස් දිළිසෙමින් තිබුණා. ඒ දිළීසිමෙන් මගේ හිත පත්තුවෙලයි තිබුණේ. නා කපන වැස්සේ තෙතබරිතව වුනත් මං හිටියේ ගිණි ගනිමින්. ඔයා වඩ වඩාත් දිලිසෙන්න උනා.

මහා හයියෙන් ගහපු අකුණු සැරයකට බයවෙලා කෝපි කොප්පයත් මගේ ඇගට හලාගෙන ඔයා මට තුරුල් වුණා, උණුහුමයි ආරක්ෂාවයි දෙකම හොයාගෙන. 

වෙරෝනිකා.......
ඔයා මගේ බෙල්ල වැරෙන් බදාගෙන උන්නේ..... ඔයාගේ දෙතොල් මගේ ගෙල දිගේ උණුහුමක් හොයමින් සක්මන් කරනවා............... 

පුංචි තණකොළ ගස් යට වෙන්න තරම් දැං වතුර.
වෙරෝනිකා....
මං නම් තනියම තෙමෙනවා......
ඔයත් එහෙමද ඔහේ....!

4 comments:

  1. නුඹ වෙනුවෙන්
    අපි වෙනුවෙන්
    දැකපු හීන
    එදා ඔයාගේ නහය අඟිස්සේ
    වැනි වැනි තිබුන වතුර බින්දුව වගේ
    ඔයාගේ හිතෙන් මගේ හිතට
    මගේ හිතෙන් ඔයාගේ හිතට
    අදටත් වැනි වැනි තියනවා
    කිසිමදාක සමතුලිත වෙන්නැති විදිහට

    ReplyDelete
  2. \\මං නම් තනියම තෙමෙනවා......
    ඔයත් එහෙමද ඔහේ....!\\

    වෙරෝනිකා : නෑ වස්තුවේ මම දැන් මේ වතුර මල (ෂවර් එක) යටට වෙලා, හීටරෙන් රත් වෙලා එන වතුරෙන් නාන ගමන්,

    ReplyDelete
  3. වෙරෝනිකා...
    වෙරෝනිකා.........//
    ඔබට මාව නැති
    මට ඔබව නැති

    නදීක ගුරුගේ-වෙරෝනිකා

    ReplyDelete