Wednesday, August 6, 2014

ප්‍රේමය නම් වු ඈ


ඉර බැහැන් යන්න කිට්ටු වෙලාවක මං ඈත පාර දිහා බලාගෙන හිටියා. සෙනග පිරිච්ච බස් වලින් තැලිච්ච මල් වගේ කෙල්ලෝ බැහැලා ඇදුන් හද හදා ඈතට යනවා. එන බස් එකක් බස් එකක් ගානේ මං බෙල්ල හරවා හරවා ඉස්සි ඉස්සි බැලුවේ මගේ අස්වැසිල්ල සොයා ගන්නයි. පිටකෝට්ටේ පැත්තේන් කලුවර හිමින් හිමින් ඇදෙමින් තියෙද්දි මොණරෙකු සේ සාරියක්ද ඇගලා ගත් ඇය දුවවිත් මා අතේ පැටලුනා. 

“Sorry.........“

ඒ ඇගේ හැමදාම ප්‍රථම වචන පෙළයි.  පිළිවලට පිරා තිබු ඇගේ හිසකේ මම අවුල් කලා මිස කිසිවක් නොදොඩා හිටියා. 
‘ආ...... මාර වැඩක්නේ අද පත්තරේක මං කියෙව්වා ලිපියක් ඇත්තටම ඒක ලිපියක් නෙවෙයි කතාවක්.....‘

අපි යන්නේ කොහේද මොනවද කරන්නේදැයි ඇයට වගක්වත් නැත ඇය එතරම්ම සුරක්ෂතභාවයකින් මගේ වැලමිටෙහි එල්ලි පැද්දි පැද්දි ගමන් කරයි. ඇගේ කතාවට වඩා මා වඩා ප්‍රිය කරනනේ ඇය එය කියන තාලයට හා තනයටය. 

“ඒ කතාව ඔයාගේ..... ඔයා ලියපු ඒවා තැනින් තැනින් එකතු කරලා පොඩි වෙනසකට වෙන වචන දාලා ලියලා තිබුණට ඒ ඔක්කොම ඔයාගේ.....“

මම මද සිනහවක් පා ආයෙමත් යන එනමං සොයන්නට විමි. මට මගේ කියා ඇත්තේ මේ ආදරය පමණකි. මේ ලෝකයේ මා හදුන්නේද මේ ලෝකයෙන් මා හදුන්නේද ඒ ආදරය පමණකි. ඒ ආදරයට ඇත්තේද එකම නමකි....... ඒ වෙරෝනිකා ය. ඉතිං මගෙන් ඇය සොරා ගැනිමට කිසිවෙකුටවත් බැරි බවනම් මම දනිමි. ඒ ප්‍රේමය පිළිබදව මා තුල ඇති විශ්වාසයයි. මිනිසුන් අපි හා විශ්වාසය ගොඩ නගා ගන්නේ වචන පතින් නොව ආදරය මතිනි. අපේ සියලු සබදතාවන් ගොඩ නැගෙන්නේ වචන මත නොව ආදරය මතය. අපගේ ඉවසීමද ගෞරවයද වර්ධනය වන්නේ ආදරය නිසා මිස වචන නිසා නොවේයි.

“ඔයාට හිතෙන්නේ නැද්ද එක හොරකමක් කියලා.....“

මා දොඩමලු කිරිමේ අභියසින් ඇය බැරැරුම් ලෙස ප්‍රශ්ණය මා මත පැටෙව්වාය.

මම දෙපස බලා ඇගේ අත තදින් අල්ලාගෙන අලුතින් තාර ගල්වා උස් කර ඇති චිස් මෙන් තාර පාරන් එහා පැත්තට එතෙර වුයෙමි. අලුත් ගඩොල් මතින් අපි අශ්චරය දෙසට පිය නගන වෙලාවේ ඇය සොරකමක් මතක් කර ඇත. ඇය පිළිතුරක්ද අපේකෂාවෙන් නිහඩව සිටියි. මාගේ මේ නිහඩ බව දැන් දැන් ඇයට හොදට හුරුය. ඒ නිසාම ඇගේ ඉවසිමේ සීමා මායින් පුළුල්ය. එතරම්ම දුක් මහන්සි වි ඇය මට හුරුපුරුදු වි ඇත. 

“අපිට අපේ කියලා වචන කෙහේද තියෙන්නේ වෙරෝනිකා..... අපි යමක් ලිව්වට පස්සේ එක අපේ නෙවෙයි. වචන හොරකම් කලාට මිනිස්සුනගේ ආදරය හොරකම් කරන්න පුළුවන්ද“

“ආදරය හොරකම් කරන්න බැහැ..... එත් ඇයි මිනිස්සු එහෙම ඔයාගේ හැගිම් හොරකම් කරන්නේ.....“

“අපි තුල ආදරය තියෙනවා නම් අපිට අනුන්ගේ හැගිම් හරි වචන හරි අවශ්‍ය වෙන්නේ නැහැ... අපේ පැවැත්ම තිරණය කරන්නේ වචන නෙවෙයි ක්‍රියාවයි. වචන වචන හැටියට හැගෙන්නේ කියන්නා තුල ඇති ආදරයේ ස්වරය සමුහය නිසයි......“

“හොව් හෝව්....... දේෂණ ඇති.......“
ඇය මගේ පිළිතුරට මග ඇහුරුවාය. ඇගේ ඇස් දැලිවි ඇත, කම්මුල් රත් පැහැ ගැන්වී පිපි එමින් තිබේ.

‘‘මං ඔයාට ආදරෙයි........“
ඇය මගේ උරය මත ඇගේ දොතොල් තියා උණුසුම් හාදුවකින් මගේ ගත ප්‍රණවත් කළාය. දිගු හුස්මක් ගත් ඇය.......

“මට සතුටුයි ඔයාව මට හුමුවුණ එක ගැන..... එක අස්වාභාවික හමුවිමක් වුණත් මම කැමතියි අපි ඉන්න විදිහට......“

සත්තකින්ම ඇගේ ප්‍රේමය මහ රුක්ෂයක් මෙන්ය. මා මුලදි සිතා සිටියේ මා තරම් කිසිවෙකුටවත් ආදරය කල නොහැකි යැයි කියාය. නමුදු ඇය හමු වු දා පටන් මගේ මුල් බැස ගැනීම කොපමණ වැරදිදැයි මටම තේරෙන්නට පටන් ගත්තා. විටක ඇය මවක් සේද යෙහෙලියක් සේද බිරිදක් සේද භික්ෂුණියක් සේ ද මා ඉවසන්නීය. තවත් විටක ඇය පාසල් ගුරුවරිය මෙන්ද නිතිඥවරියක් මෙන්ද සෙබලයක් මෙන්ද තහංචි පනවන්නීය. නමුදු ඇය කිසි විටකත් මා හට දක්වන ප්‍රේමය අත් හැරියේ නැත. වැටෙන්න වැටෙන්න ආයෙමත් කෙහෙන් හෝ කොණක් අල්ලාගෙන ඈ මා මත්තේම දළු ලා වැඩෙන්නීය. මවිසින් මගහැර යන සෑම තැනකදීම ඇය කෙලින් සිටගෙන මා තදින් වැළද ගෙනම සිටින්නීය. ඒ හැමවිටම මගේ පපුවට දැනෙන එකම උණුසුම ඇගේ ප්‍රේමයේ උණුසුම ම පමණෙකි. ඇගේ ප්‍රේමය ඉදිරි පිට මා ළදරුවෙකු සේ අසරණව දත් විළිස්සාගෙන බලා උන් වාර අනන්ත ය. ඒ වෙරෝනිකාය.......

“මිනිස්සුන්ට තමන් තුල කිසිම දෙයක් නැති වුණාම අනෙක් අයගේ අදහස් හරි තමන්ගේ වගේ ලියන්න ලැජ්ජ නැද්ද මන්දා......?“

ඇය තාම මුල් ගැටළුවේම සිත් යොමා සිිටින බව මට වැටහුණේ එවිටය. ඇය අතෝරක් නැතිව එක දිගට කියවාගෙන යයි. සැරෙන් සැරේ මොන මොනවාදෝ ප්‍රශ්ණ මගෙන් විමසා ඇයම පිළිතුරු සපයාගෙන කතා කරමින් යයි.

“හදිසියේ මං කතා කරන එක නැවැත්තුවොත් අපේ සම්බන්ධතාවයට මොකක් වෙයිද දන්නේ නැහැ....!!“
එක්තරා දිනෙක නිශ්චිත මොහොතක ඇය හැඩුම්බරව කී දේ තවමත් මා මතකයේ ඇත. 

වචන - ඒ ඇගේ ආදරයේ එක් පැතිකඩක්ය. හැමදේමත් හැමවිටමත් ඇය ප්‍රකාශ කරමින් මට ප්‍රේම කරයි. තවත් විටක ඇගේ වෙලෙමින් හුරතල් වෙමින් ඇවිස්සෙමින් ප්‍රේම කරයි. ඇය විවධාකාරය. එක මිතික නොවන ඇයට බහුමිතක පැතිකඩවල් ඇත. ඇය ඒ හැම අයුරින්ම මට ප්‍රේමය ප්‍රක්ෂේපණය කරමිනි උන්නාය. එහෙත් ඇය දැන හදුනා ගත් දින පටන්ම මා ඇය හා ආලයෙන් වෙලුන් ලෙසම මම ඇය ප්‍රේම කරමින් සිටියා. කලු සුදු මම වර්ණ අන්තර නොදන්නා සේම ප්‍රේමයේ චලනයන් නොදන්නෙමි. නමුදු ඇය ශුංගාරාත්මක ලෙසත් විචිත්‍ර ලෙසත් මා හට ආලය පායි. 

දසත අදුරින් වැසි ඇතිමුදු අශ්චර්යමත් පහන් කණු ඒ බව අපට අමතක කරවමින් සිටියි. අප පසු කර යන එකා දෙන්නා අප දෙස බලනුයේ ‘ඇපල් කන්නේ පණුවොමය‘ යන තියරියෙනි. අපි අතුරු මාර්ග මග හැර ප්‍රධාන මාවතින්ම වෙරළ අද්දරට සෙන්දු වුයෙමු. තැන් තැන් වල මිනිස් සමුහයාගේ චලනයන් අපිට කිසි වැදගැන්මක් ගෙන ආවේ නැත. 

“අපි අද මුහුදට කතා කරන්න ඉඩ දෙමු...“
මම වැල්ලේ වාඩි ලා ගමිනි පැවස්වෙමි.

මගේ ගෙල වටා අත් යවා මා ඇගට බර වී ඇය මගේ හිස් මුදුණ උණුහුමින් සිප ගත්තාය. ඇය මේ සාගරය තරම්ම ගැඹුරු නොවේදැයි මම තවමත් සිතමි.