Sunday, September 13, 2015




අල්කයිදා ප්‍රහාරයෙන් වසර ගණනකට පසු දෙවියන් මුස්ලිම් ජනතාවට මක්කමදී දඩුවම් කරයි.

ආදරණීය වෙරෝණිකා...!

ඇමරිකා එක්සත් ජනපදයට අල් කයිදා සංවිධානය විසින් පාඩම් උගන්වා ඊයේ දිනයට වසර පහලොවකි. තමා පිළිබදව මහ උජාරවකින් සිතාගෙන උදම් අනමින් ලෝකයේ රටවල් කොල්ල කමින් සිටි ඇමරිකාවේ චිත්ත ධෛර්ය සුනු විසිනු වෙන්නට අපගේ භාෂාවෙන් කියුවහොත් කුඩු වෙන්නට ගසා ඊයේ දිනට වසර පහලොවකි.

ඉතින් වෙරෝනිකා කාලෙකට පස්සේ ඊයේ ඔයාව ආපහු දැක්කා නිසා ඔයාට ලියන්නට සිතුවෙමි. මෙතෙක් කල් ලිවීමට නොහැකි වූයේ ඔයාව අමතක වෙලා නෙවෙයි ලංකාවේ එකක් ඉවර වෙන්න එකක් එන ඡන්ද නිසා, පාළකයෝ පත් කරනවා ඇරෙන්න වෙන වැඩක් කරගන්න වෙලාවක් අපට තිබුණේ නෑ. එක එක දූෂන ගැන දේශපාලන පක්ෂවල ඉන්න අයම අපිට කියලා ආපහු අපි දන්න තොරතුරු තියෙනවනං එවන්න කියලා කියන නිසා අපි දැන් ඒ ගැනත් හොයන්න ඕන. මෙච්චර දහසක් එකක් වැඩ අතරේ ඔයාට ලියන්න නිමිත්තක් අද උදේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩක් විදියට ඇවිත් තිබුණා.
"සෞදි අරාබියේ මක්කම මහ පල්ලියේ දොඹකරයක් කඩා වැටී 107 ක් මරුට. 238 තුවාල ශ්‍රීලාංකිකයන් ඒ අතර නැතැයි මුස්ලිම් මහ පල්ලිය කියයි ."
ආදරණීය වෙරෝණිකා දෙවියන් ඇමරිකාව පැත්තේ හිටංද....? (අපේ ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගත්ත වචනයක් සිටගෙනද යන්න මෙයින් අර්ථ දැක්වෙන බව කරුණාවෙන් සලකන්න )
මේ කෙටි පණිවිඩයෙන් බොහෝ පිරිසක් මේ වන විටත් දුක් වෙමින්ද, තවත් පිරිසක් සතුටු වෙමින්ද සිටිනා අතර තවත් පිරිසක් දිට්ඨ ධම්මවේදනීය කර්මය වැනි මාතෘකා පිළිබදව උනන්දු වෙමින්ද සිටිනු ඇත. ඒ අතර සතුටු වන්නා වූ පිරිස අතර ඇතැමෙක් මුහුනු පොතට දමන්නට සිංහල ජාතියට වින කරනා හම්බයන්ට සිදුවූ මේ දේ අගය කරනවානම් ලයික් කර ෂෙයාර් කරන්න වැනි පෝස්ට් හදමින් සිටින්නට පුලුවන. එහෙත් මේ තුල ඇති මහත් වූ බේදවාචකයක් පිළිබදව ඔයාට ලියා තබන්නට උදෑසන සිත බල කලේය.

ජාතිකත්වයට යටකර මුස්ලිම් විරෝධය ලෝකයට ගොඩනැගූ මහබලවතා
වෙරෝනිකා....මුස්ලිම් ජාතිය වෙළදාම මූලික කරගත් ජාතියක් බව ඔයාට අමුතුවෙන් කියන්න උවමනාවක් නෑ. ඒත් මුස්ලිම් ජාතිය ජාතිකවාදය ඇතුලේ හිර කරපු අනෙක් ජාතීන් අතර පිළිකුල් කිරීමට හා හෙලා දැකීමට වින කැටපු ඇමරිකන් චීත්තේ ගැනනං නොකියා  ඉන්න බෑ. මේකට බලපෑවේ ප්‍රධාන කාරණා දෙකක් එකක් තෙල්  අනෙක මහබලවතා වීමේ පිස්සුව හා ඉතා සුලුතරයක් වූ තමාගේ යහපත සදහා අනෙකාව කොල්ලකෑමේ උවමනාව. තමන්ගේ චීත්ත වෙනත් රටවල් සදහා පිටත් කර හරමින් බලශක්ති ව්‍යාපාර හරහා ජනතාවට සුභසෙත සලසනා ආකාරයක් පෙන්වමින් තමන්ගේම රටින් ඒ සදහා ණය මුදල් නිකුත් කරමින් ව්‍යාපෘතිය තමාගේම රටේ ඉන්ජිනේරු සමාගම් යටතට ගණිමින් බොරු දත්ත වාර්ථා හදමින් රටවල් තමන්ගේ ණය කාරයන් කර ගනිමින් ආර්ථික වශයෙන් වෙනත් රටවල් වල කොන්ද කැඩීම තම පිළිවෙත කරගත් ඇමරිකා එක්සත් ජනපදය කමාට විරුද්ධව නැගී සිටිනා ප්‍රගතිශීලී ජන කොටස් බොහොමයක් ත්‍රස්ත්‍රවාදීන් ලෙස හංවඩු ගසා මර්ධනය කලේය. ලොව බොහෝ රටවල් ගණනකට රෝග පීඩාන්දී රැසක් උරුම කල අතර ආගම ඉතා නින්දිත විදියට තෙල් හා කණිජ සමාගම්හි ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කරමින් බොහෝ ගෝත්‍රික කණ්ඩායම් පෘතුවි ග්‍රහයාගෙන් අතුගා ඉවතට විසිකර දැම්මේය.ඉක්වදෝරය, ඉන්දුනීසියාව,ඉරානය කොලොම්බියාව ආදී රටවල් සදහා මැදිහත් වෙමින් ඔවුන් සතු ස්වභාවික පරිසරය විනාශකර දමමින් මහත් ව්‍යසනයන්ට එම රටවල්හි ජනතාව ඇද දැම්මා පමණක් නොව විරුද්ද වන්නන් ඝාතනය කිරීමටද පිරවර ගත්තේය. සෞදි අරාබියේ රජ පවුලේ අල්ලන්ට නොහැකි ඇතැම් අය ස්ත්‍රීන් දී ඇල්ලුවේය. රුසියාවට එරෙහිව ඔසාමා බිල් ලාඩින් ඇතිදැඩි කර මුදාහලේය.
සියලු ජඩවැඩ වසාගැනීමට ආගම භාවිතා කලේය. ආගම් යුද්ධයක් ලෙස ලෝකයට පෙන්වමින් ඉහත සදහන් රටවල්හි භූමිය යට තිබෙන්නාවූ කණිජ සම්පත් කොල්ල කන්නට පටන් ගත්තේය. ගෝලීයකණය වීමේ ලාලසාවක් ලෝකයේ අහිංසක ජනතාවගේ සිත්තුල ඇති කරමින් ජනතා කැමැත්තෙන් රටවල් තුල සැගවී ඇති සම්පත් කොල්ල කෑමට පිඹුරුපත් සකස් කලේය.
ඔයා දන්නවද වෙරෝණිකා ලංකාවේ අපිටත් ඒ දවස්වල ගෝලීය ලෝකෙට ඇතුල් වෙන්න තිබුණේ මාර ඇම්මක්. මං මේ කියන්නේ මං ගැන. ඒක ඒ තරම් සුරංගනා හීනයක් විදියට ලංකාවේ ගම්මාන ඇතුලට පවා ඉහින්න තරම් ඇමරිකන් කාරයා දක්ෂවෙලා තිබුණා. ඇත්තටම ඒක දක්ෂ කමත්නෙමේ අනෙක් රටවල් සූරාකෑමට තියෙන ඕනෑකම.
ආර්ථික කුලී ඝාතකයන්, සී අයි, ඒ මැරවරයන්, ඇමරිකන් හමුදාව යොදාගනිමින් ලෝකය  චණ්ඩිකමින් කොල්ල කෑම එළිපිටම කරන්නට පටන් ගත්තා විතරක් නෙමේ, සී අයි ඒ සංවිධානය එළිපිටම රටවල් කිහිපයක නායකයින් ඝාතනය කරමින් ඒ පිළිබදව ලෝකයට දැන ගන්නට පවා ඉඩකඩ සකස්කලා. සිනමා කෘති තම පටු දේශපාලන උවමනාව වෙනුවෙන් භාවිතා කරමින් ලෝක ජනතාව බියවැද්දීමට සැලසුම් කලා. 2001 රුසියාව දිහාවට හරවපු බිල්ලාඩන් ආපහු ඇමරිකාව පැත්තට හැරෙන්නේ මෙන්න මේ වගේ වෙලාවකදි, ඇත්තටම මේ ගැන මට පොඩි සැකයකුත් තියෙනවා වෙරෝණිකා, බිල්ලාඩන් හිතලා ඇමරිකාව පැත්තට හැරුණද නැත්නම් රුසියාව බිල්ලාඩන්ව ඒ පැත්තට හරවන්න තරම් දක්ෂ වුනාද කියලා.
අල්කයිදා ඇමරිකන් ප්‍රහාරය ඇමරිකාව සලිත කලාසේම ඒ යට සැගවී තෙල් ව්‍යාපාරයේ බලය ශක්තිමත් කර ගැනීමට තම යුධ ශක්තිය භාවිතා කිරීමටද ඇමරිකාව පසුබට වුනේ නෑ. ලෝකයේ අනුකම්පාව ඉල්ලා ස්ත්‍රී කදුලු වපුරවමින් මුස්ලිම් ජාතිය මහා විනාශකාරී , වෙනත් ජාතීන්හි මිනිසුන් වද කරන ,ඉක්මණින් පැතිරෙමින් අනෙක් රටවල්වල බලය අල්ලා ගැනීමට දතකන ජාතියක් ලෙස හංවඩු ගසමින් ඒ සිතුවිලි වෙනත් රටවල් වල මිනිසුන්ගේ හිස් මතට ඇතුල් කරමින් ජාතිවාදය නිර්මාණය කරන්නට විය. ක්‍රිස්තියානි හා බෞද්ධ ආගම් දෙක ඇපයට තබා ගනිමින් මෙම ආගම් දෙකෙහි ජන්මාන්තර වෛරකාරයන් ලෙස පෙන්වමින් ජාතිවාදයෙන් සිත් දූෂණය කිරීමේ පදනම දැම්මේය. ලෝකය අවුලා ඒ අතර තුර ඊට යටින් තමාගේ වුවමනාව සිදුකර ගැනීම ඇමරිකාවේ අභිප්‍රාය විය. කලාපීය බලවතා වීමට දගලන ඉන්දියාව පකිස්තානය හරහා මෙල්ල කරමින්ද, තමාගේ බලයට අභියෝගයක් වන චීනයේ ආර්ථිකය කඩා දැමීමට කටයුතු කරමින්ද ( මේ වන විට ) සිටී.
ලංකාව පැත්තෙන් ගත්තහම මෙහෙමයි වෙරෝණිකා
දෙමල ජාතිය තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගනිද්දී ඒක මහා ව්‍යසනයක් විදියට සිංහල ජාතියට පෙන්වපු අදිසි හස්ත සිංහල දෙමල ගැටුමක් ලංකාව තුල නිර්මාණය කරන්න සමත්වුනා. සිංහලයන් තුල තිබුණු ව්‍යාපාරික ඉරිසියාව ආගම එක්ක පටලවලා බියක් ලෙස වර්ධනය කරලා ඉතිහාස කතාවලින් ඇදලා ගනිපු වීරයන්ට කියලා ජාතික හැගීම අවුස්සල ලක්ෂ ගණනක් සිංහල දෙමල තරුණ තරුණියන් මේ පොළොවේ සදහටම නිදි කරෙව්වා. කොහොමත් ඇමරිකන් වුවමනාව  තමන්ගේ ප්‍රධාන ව්‍යාපාරික ත්‍රිත්වය ආරක්ෂා කරගැනීම. හා ලෝකයේ ඇතිවන ප්‍රශ්න හා තමා විසින් ඇති කරවන ප්‍රශ්න හරහා තම ප්‍රධාන ව්‍යාපාරයන් හැසිරවීම. මොනවද මේ  ව්‍යාපාරයන් - ආයුධ ඖෂධ සංවර්ධන හරහා ගැට ගැසුනු පොලියට සල්ලි දීම.

ඔයා දන්නවද වෙරෝණිකා ඇමරිකාව පහුගිය යුද්ධය පිටිපස්සේ හිටියා විතරක් නෙමෙයි ඒකෙන් සෑහෙන් පලත් නෙලා ගත්තා. ඒත් ෆොස්පේට් , විල්පත්තු , යාල ( ඇමරිකන් ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුනුවීම්  කියලා නාඩගමක් නටන්න ලෑස්ති වුනානේ ඇමරිකාව. ඇත්තටම ඒ වෙලාවේ මැදිහත් වුනේ සුනාමිය මිසක් දේශප්‍රේමී සංවිධාන නෙමේ කියලා මං ඔයාට කියන්න ඕන. හේතුව ඒකට ත්‍රස්තුවාදී විරෝධයේ සලුපිලි අන්දලා තිබුනු නිසා දේශප්‍රේමී සංවිධාන වලට යාල කැලේට වෙන හානිය ගැන වැටහීමක් තිබුනේ නෑ. ) ඉරණවිල ආදියේ පටන් බොහෝ සෙල්ලම් මේක අස්සේ නටන්න සැලසුම් කලා, පහුගිය යුද්ධය අතර කාලසිමාව තුල මුස්ලිම් ජනතාව ව්‍යාපාරික අතින් ගොඩ නැගුණා, ඒ අතරේ තමයි මහින්ද තමන්ගේ චණ්ඩි යාලුවන් ආදර්ශයට ගනිමින් චීනය එක්ක යාලුවෙලා සදාකල් බලේ ඉන්න සූත්‍රය සජ්ඡායනා කරන්න පටන් ගන්නේ. ඇමරිකන් අදිසි හස්තය මින් උපරිම පලනෙලා ගන්නට ඇතැයි මට විශ්වාසය. ඒ සිංහලේ වීර වංශ කියනා අයුරින් ළදරු විදියට නෙමේ. ( ඔහුට අනුව සියල්ල කුමණ්ත්‍රණය. මට අනුව එසේ නොවේ. එහෙත් විමල් ලවා කුමණ්ත්‍රණ යන්න විහිලුවකට ලක් කිරීමට ඇමරිකාව පියවර ගත්තාදැයි සැකයක් ඇතැයි කියන්නේ මේ දිග ලිපියෙන් වෙහෙසට පත් ඔයාව ටිකක් හිනැස්සවීම හොදයි කියා සිතුණු බැවිනි. ) ලාංකීය මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව අතර ආගම් ප්‍රධානකොටගත් යුද්ධයක් හදිසියේ ඇවිලවීමට කටයුතු යෙදීම මාගේ අදහස අනුව කුමණ්ත්‍රණයකි. කවුරුන් දඩමීම කරගෙන එය ඇති කරත් ඇමරිකාව ඒ පිටුපස සිටින්නේ යැයි මම පුද්ගලිකව විශ්වාස කරමි. ඊට ප්‍රධාන වශයෙන් කාරනා කිහිපයක් හේතුලෙස මම දකිමි.
01 සුනාමිය වෙලාවේ ගාල්ල නගරයට බැසගත් ඇමරිකන් බටයන්,( ඇමරිකන් ශ්‍රී ලංකා හමුදා අතර පැවැත්වීමට යෙදී තිබුණු ඒකාබද්ධ හමුදා පුහුණුවීම් සදහා ගෙන ආ ආයුධ සියල්ල සුනාමියෙන් මුහුදට ගසාගෙන ගොස් තිබූ නිසා ඒවා සොයන්නට පැමිණි ) ආයුධ සෙවීම අතර මුස්ලිම් ජනතාව පිළිබදව සෙවීමට වැඩි උනන්දුවක් ගත්තෝය.
02 අල්කයිදා සංවිධානය සමග ලාංකීය මුස්ලිම්වරු සම්බන්ධයක් කටකතා පැතිර ගිය අතර දැන් එය එස් අයි එස් සමග සම්බන්ධ බවද පසුගිය දිනෙක මියගිය එස් අයි එස් බටයෙක් ලංකාවේ අයෙක් යන්න ආදී වශයෙන් කතාන්දර ගොඩ නැගෙමින් පැවතීම.
03 මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව හදියේම යුධ අපරාධ පරීක්ෂණය නවතා ලංකාවටම එය කැමති පරිදි කරගන්නැයි පවසා ලංකාව පිළිබදව පුදුම තරමේ කැක්කුමකින් කටයුතු කිරිමය. අනෙක් කාරණය නම් සිරිසේන ජනාධිපතිවරයා වෙත පාන්නාවූ වැඩි සෙනෙහසයි. මෙවරද ගෙන්වා ගත්තේ ඔහුය. රනිල් ගියේ ඉන්දියාවටය. ලෝක නයකයින් සමග ගත්කල ඇමරිකාව හා ගනුදෙනු කිරිමට වර්ථමාන ජනාධිපතිවරයා පොඩි වැඩිබව මාගේ අදහසයි. කෝකා කෝලා තෙල් කාන්දුව වෙලාවේ ඔහුගේ හැසිරීමද ඇරිකාවට ඔහු පිළිබදව ආදරයක් හා වැඩි විශ්වාසයක් තැබීමට ප්‍රමාණවත්ය.
කෙසේ හෝ මා සදහන් කල මක්කම සිදුවූ සිදුවීම ඉබේ සිදුවූවක්ද නැතිනම් එයත් ඇමරිකාවේ සැලැස්මක්දැයි මම නොදනිමි. මට ඊට සාධාරණ සැකයක් ඇත. හේතුව ඇමරිකාව ඔවැනි කඩප්පුලි වැඩ කර තිබෙන්නේ අද ඊයේ නොවේ. කෙසේ වෙතත් සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවනු නොදැකීම මාගේ ප්‍රාර්ථනයයි. ඒ අන් කිසිවක් නිසානොව දිගින් දිගටම ඇතිවෙමින් තිබෙන තත්වයන් හා නොබෝ දිනෙක සිට කඩා වැටෙමින් පවතින චීන ආර්ථික ආදී කරනු දෙස බැලීමේදී ලංකාව ඇමරිකාවට වැදගත් සාධකයක් හා භූමියක් වෙන නිසාවෙනි. දැන් අපට සිටින්නේ සුජාතම ජනාධිපතිවරයාම නොවෙන බව අප සිහිතබාගත යුතුය. මන්ද තමාට වුවමනා දේ කර හිමිච්ජාවගේ වගේ හිදීම ඔහුගේ එක් ස්වභාවයක් නිසාවෙනි. මේ වඩාත්ම අවධියෙන් සිටිය යුතු කාලය බැව් මගේ අදහසයි.

මම දැන් නවතිනවා වෙරෝණිකා .

චාමර ප්‍රසන්න කොඩිතුවක්කු



Thursday, September 10, 2015

වසන්තයට අතපසු වු පෙරවදන....



“ජිවිතයත් හරියට කාළගුණය වගේ..... වෙලාවක හරිම සුන්දරයි... තවත් වෙලාවකට හරිම සෝචනීයයි. එත් ජිවිතය නොනැවති ඉදිරියටම ගලා යමින් පවතියි. අපිට පුළුවන් මේ සියල්ල අතර දෝලනය වන්න විතරයි.“

ඊයේ රාත්‍රි යේ සිටම ඇද හැලෙන මහා වැස්ස මුළු පාලතම අදුරක ගිල්වමින් තිබුණා. එත් සුබ නැකත් එළඹෙන එක නවතින්නේ නැහැ.  පුංචි පුංචි වැහි බිංදු රූ රා වැටෙන ගස් කොලන් අතරින් ඇය සුරංගනාවියක් වගේ පුංචි මල් කිණිත්තක් අත දරාගෙන පැමිණෙමින් තිබුණා. කවදාවත්ම දැක නැති කොණ්ඩ මෝස්තරය නිසාම ඇය වඩා ත්ව්ර ලෙස පෙනෙන්නට වුණා. තැතිගැන්මක් එක්ක මොකකදෝ බියක් ඇගේ අැස් අග ලියවිලා තිබුණා. මං බලා උන්නා මඩ කඩිති උඩින් පැන සුරංගනාවියක් පාවෙන අයුරු.

     “ මං ලස්සනද......“

ඇය ලස්සනය බාහිරෙන් පමණ් නොව ඇගේ හදවතින්ම
ඇය ලස්සනය දොකොපුල් පමණක් නොව හාදු වලිනුත්
ඇය ලස්සනය මනස්කාන්ත දෑස් වලින් පමණක් නොව බැල්මෙනුත්
ඇය ලස්සනය...........

දහසකුත් වචන වලට එහා ගිය සිනහාවකින් ඇය අතේ වු මල්කිණිත්ත මගේ කෝට් එකේ රැදෙව්වා. එත් ඇය මගේ පපුවට තුරුලු වුයේ නැත. ඒ ඇය තුල වු තැති ගැන්ම නිසාවෙන් විය හැකිය.

ඒ තැති ගැන්මට එහා ගිය හදිස්සියක් ඇයට තිබුණා..... එත් මං හිටියේ දෙලොවක් අතර.... ඇගේ ප්‍රේමය අභිමුව මං හැමදාම දියවෙලා යනවා. මං හැමදාම පරාජය වෙලා යනවා. 
බොහෝ අය ලස්සනට ඇදගෙන ඇවිත් තිබුණා, සතුටු කතා මැද ප්‍රිති සිනහා දෝරේ ගලමින් තිබුණා. තම තමන්ගේ පිංතූර ගනිමින් සතුටු සාමිච්චියේ යෙදෙනෙ කෙල්ලන්ගේ මුකුළුව වැස්සේ තිබු ගුප්ත බව මෙලෙක් කලා. මට ඇය දුටු වෙලෙ පටන් ඕන කළේ ඇගේ දෙතොල් සිප ගන්න. එත් ඇගේ මයාව නැතිවෙතැයි බියෙන් මං මගේ ආසාවල් හැමදාම වගේ හංග ගත්තා. කතා මැද කාළය ගෙවෙමින් නිත්‍යානුකූලව අපි විවහා ගිවිස ගත්තා. නිතියෙන් අපි එක්වුණා. නිතියට වඩා වේගයෙන් කාළය ගෙවි යනවා. ප්‍රේමවන්තයෝ අඹුසැමියෝ වෙනවා...... ජිවිතය සුසුම් මැදින් දිග හැරෙන්න ගන්නවා. ආදරය හෙට වගේ ප්‍රර්ථනාවක් වෙනවා......


            “වචන අතර ගොඩ ගහපු ඔයාගේ ජිවිත නිසා මං මගේ ජිවිත ගිණි තියා ගත්තා“


සුරංගනාවියකගේ ඇස් වලින් වැස්ස වගේ කදුළු දෝරේ ගලනවා. ආයේ වසන්තයක් එ්වියැයි කාට නම් සපත කළ හැකිදැයි මම නොදනිමි. එත් ජිවිත ඉදිරියට ඇදෙමින් තිබේ. තවම ඇය ඉස්සර වගේ මගේ ළයේ හිස හොයාගෙන උණුහුමක් සොයමින් සිටියි.

   “ ආදරේ අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි..... එක් අපි තුල නිරායාසික උත්සාහයකින් උත්පාදනය වන ශක්තියක්..... අපිට පුළුවන් එක විදින්න විතරයි....“ 
දිගු හුස්මක් පිට කරමින් මං ඇයට පැවසුවා.

ඇය දිගු සුසමකින් ලය පුරාවාගෙන අනෙක් පස හැරි නින්දට වැටුණාය..........



Wednesday, August 6, 2014

ප්‍රේමය නම් වු ඈ


ඉර බැහැන් යන්න කිට්ටු වෙලාවක මං ඈත පාර දිහා බලාගෙන හිටියා. සෙනග පිරිච්ච බස් වලින් තැලිච්ච මල් වගේ කෙල්ලෝ බැහැලා ඇදුන් හද හදා ඈතට යනවා. එන බස් එකක් බස් එකක් ගානේ මං බෙල්ල හරවා හරවා ඉස්සි ඉස්සි බැලුවේ මගේ අස්වැසිල්ල සොයා ගන්නයි. පිටකෝට්ටේ පැත්තේන් කලුවර හිමින් හිමින් ඇදෙමින් තියෙද්දි මොණරෙකු සේ සාරියක්ද ඇගලා ගත් ඇය දුවවිත් මා අතේ පැටලුනා. 

“Sorry.........“

ඒ ඇගේ හැමදාම ප්‍රථම වචන පෙළයි.  පිළිවලට පිරා තිබු ඇගේ හිසකේ මම අවුල් කලා මිස කිසිවක් නොදොඩා හිටියා. 
‘ආ...... මාර වැඩක්නේ අද පත්තරේක මං කියෙව්වා ලිපියක් ඇත්තටම ඒක ලිපියක් නෙවෙයි කතාවක්.....‘

අපි යන්නේ කොහේද මොනවද කරන්නේදැයි ඇයට වගක්වත් නැත ඇය එතරම්ම සුරක්ෂතභාවයකින් මගේ වැලමිටෙහි එල්ලි පැද්දි පැද්දි ගමන් කරයි. ඇගේ කතාවට වඩා මා වඩා ප්‍රිය කරනනේ ඇය එය කියන තාලයට හා තනයටය. 

“ඒ කතාව ඔයාගේ..... ඔයා ලියපු ඒවා තැනින් තැනින් එකතු කරලා පොඩි වෙනසකට වෙන වචන දාලා ලියලා තිබුණට ඒ ඔක්කොම ඔයාගේ.....“

මම මද සිනහවක් පා ආයෙමත් යන එනමං සොයන්නට විමි. මට මගේ කියා ඇත්තේ මේ ආදරය පමණකි. මේ ලෝකයේ මා හදුන්නේද මේ ලෝකයෙන් මා හදුන්නේද ඒ ආදරය පමණකි. ඒ ආදරයට ඇත්තේද එකම නමකි....... ඒ වෙරෝනිකා ය. ඉතිං මගෙන් ඇය සොරා ගැනිමට කිසිවෙකුටවත් බැරි බවනම් මම දනිමි. ඒ ප්‍රේමය පිළිබදව මා තුල ඇති විශ්වාසයයි. මිනිසුන් අපි හා විශ්වාසය ගොඩ නගා ගන්නේ වචන පතින් නොව ආදරය මතිනි. අපේ සියලු සබදතාවන් ගොඩ නැගෙන්නේ වචන මත නොව ආදරය මතය. අපගේ ඉවසීමද ගෞරවයද වර්ධනය වන්නේ ආදරය නිසා මිස වචන නිසා නොවේයි.

“ඔයාට හිතෙන්නේ නැද්ද එක හොරකමක් කියලා.....“

මා දොඩමලු කිරිමේ අභියසින් ඇය බැරැරුම් ලෙස ප්‍රශ්ණය මා මත පැටෙව්වාය.

මම දෙපස බලා ඇගේ අත තදින් අල්ලාගෙන අලුතින් තාර ගල්වා උස් කර ඇති චිස් මෙන් තාර පාරන් එහා පැත්තට එතෙර වුයෙමි. අලුත් ගඩොල් මතින් අපි අශ්චරය දෙසට පිය නගන වෙලාවේ ඇය සොරකමක් මතක් කර ඇත. ඇය පිළිතුරක්ද අපේකෂාවෙන් නිහඩව සිටියි. මාගේ මේ නිහඩ බව දැන් දැන් ඇයට හොදට හුරුය. ඒ නිසාම ඇගේ ඉවසිමේ සීමා මායින් පුළුල්ය. එතරම්ම දුක් මහන්සි වි ඇය මට හුරුපුරුදු වි ඇත. 

“අපිට අපේ කියලා වචන කෙහේද තියෙන්නේ වෙරෝනිකා..... අපි යමක් ලිව්වට පස්සේ එක අපේ නෙවෙයි. වචන හොරකම් කලාට මිනිස්සුනගේ ආදරය හොරකම් කරන්න පුළුවන්ද“

“ආදරය හොරකම් කරන්න බැහැ..... එත් ඇයි මිනිස්සු එහෙම ඔයාගේ හැගිම් හොරකම් කරන්නේ.....“

“අපි තුල ආදරය තියෙනවා නම් අපිට අනුන්ගේ හැගිම් හරි වචන හරි අවශ්‍ය වෙන්නේ නැහැ... අපේ පැවැත්ම තිරණය කරන්නේ වචන නෙවෙයි ක්‍රියාවයි. වචන වචන හැටියට හැගෙන්නේ කියන්නා තුල ඇති ආදරයේ ස්වරය සමුහය නිසයි......“

“හොව් හෝව්....... දේෂණ ඇති.......“
ඇය මගේ පිළිතුරට මග ඇහුරුවාය. ඇගේ ඇස් දැලිවි ඇත, කම්මුල් රත් පැහැ ගැන්වී පිපි එමින් තිබේ.

‘‘මං ඔයාට ආදරෙයි........“
ඇය මගේ උරය මත ඇගේ දොතොල් තියා උණුසුම් හාදුවකින් මගේ ගත ප්‍රණවත් කළාය. දිගු හුස්මක් ගත් ඇය.......

“මට සතුටුයි ඔයාව මට හුමුවුණ එක ගැන..... එක අස්වාභාවික හමුවිමක් වුණත් මම කැමතියි අපි ඉන්න විදිහට......“

සත්තකින්ම ඇගේ ප්‍රේමය මහ රුක්ෂයක් මෙන්ය. මා මුලදි සිතා සිටියේ මා තරම් කිසිවෙකුටවත් ආදරය කල නොහැකි යැයි කියාය. නමුදු ඇය හමු වු දා පටන් මගේ මුල් බැස ගැනීම කොපමණ වැරදිදැයි මටම තේරෙන්නට පටන් ගත්තා. විටක ඇය මවක් සේද යෙහෙලියක් සේද බිරිදක් සේද භික්ෂුණියක් සේ ද මා ඉවසන්නීය. තවත් විටක ඇය පාසල් ගුරුවරිය මෙන්ද නිතිඥවරියක් මෙන්ද සෙබලයක් මෙන්ද තහංචි පනවන්නීය. නමුදු ඇය කිසි විටකත් මා හට දක්වන ප්‍රේමය අත් හැරියේ නැත. වැටෙන්න වැටෙන්න ආයෙමත් කෙහෙන් හෝ කොණක් අල්ලාගෙන ඈ මා මත්තේම දළු ලා වැඩෙන්නීය. මවිසින් මගහැර යන සෑම තැනකදීම ඇය කෙලින් සිටගෙන මා තදින් වැළද ගෙනම සිටින්නීය. ඒ හැමවිටම මගේ පපුවට දැනෙන එකම උණුසුම ඇගේ ප්‍රේමයේ උණුසුම ම පමණෙකි. ඇගේ ප්‍රේමය ඉදිරි පිට මා ළදරුවෙකු සේ අසරණව දත් විළිස්සාගෙන බලා උන් වාර අනන්ත ය. ඒ වෙරෝනිකාය.......

“මිනිස්සුන්ට තමන් තුල කිසිම දෙයක් නැති වුණාම අනෙක් අයගේ අදහස් හරි තමන්ගේ වගේ ලියන්න ලැජ්ජ නැද්ද මන්දා......?“

ඇය තාම මුල් ගැටළුවේම සිත් යොමා සිිටින බව මට වැටහුණේ එවිටය. ඇය අතෝරක් නැතිව එක දිගට කියවාගෙන යයි. සැරෙන් සැරේ මොන මොනවාදෝ ප්‍රශ්ණ මගෙන් විමසා ඇයම පිළිතුරු සපයාගෙන කතා කරමින් යයි.

“හදිසියේ මං කතා කරන එක නැවැත්තුවොත් අපේ සම්බන්ධතාවයට මොකක් වෙයිද දන්නේ නැහැ....!!“
එක්තරා දිනෙක නිශ්චිත මොහොතක ඇය හැඩුම්බරව කී දේ තවමත් මා මතකයේ ඇත. 

වචන - ඒ ඇගේ ආදරයේ එක් පැතිකඩක්ය. හැමදේමත් හැමවිටමත් ඇය ප්‍රකාශ කරමින් මට ප්‍රේම කරයි. තවත් විටක ඇගේ වෙලෙමින් හුරතල් වෙමින් ඇවිස්සෙමින් ප්‍රේම කරයි. ඇය විවධාකාරය. එක මිතික නොවන ඇයට බහුමිතක පැතිකඩවල් ඇත. ඇය ඒ හැම අයුරින්ම මට ප්‍රේමය ප්‍රක්ෂේපණය කරමිනි උන්නාය. එහෙත් ඇය දැන හදුනා ගත් දින පටන්ම මා ඇය හා ආලයෙන් වෙලුන් ලෙසම මම ඇය ප්‍රේම කරමින් සිටියා. කලු සුදු මම වර්ණ අන්තර නොදන්නා සේම ප්‍රේමයේ චලනයන් නොදන්නෙමි. නමුදු ඇය ශුංගාරාත්මක ලෙසත් විචිත්‍ර ලෙසත් මා හට ආලය පායි. 

දසත අදුරින් වැසි ඇතිමුදු අශ්චර්යමත් පහන් කණු ඒ බව අපට අමතක කරවමින් සිටියි. අප පසු කර යන එකා දෙන්නා අප දෙස බලනුයේ ‘ඇපල් කන්නේ පණුවොමය‘ යන තියරියෙනි. අපි අතුරු මාර්ග මග හැර ප්‍රධාන මාවතින්ම වෙරළ අද්දරට සෙන්දු වුයෙමු. තැන් තැන් වල මිනිස් සමුහයාගේ චලනයන් අපිට කිසි වැදගැන්මක් ගෙන ආවේ නැත. 

“අපි අද මුහුදට කතා කරන්න ඉඩ දෙමු...“
මම වැල්ලේ වාඩි ලා ගමිනි පැවස්වෙමි.

මගේ ගෙල වටා අත් යවා මා ඇගට බර වී ඇය මගේ හිස් මුදුණ උණුහුමින් සිප ගත්තාය. ඇය මේ සාගරය තරම්ම ගැඹුරු නොවේදැයි මම තවමත් සිතමි.





Saturday, April 12, 2014

ජිවිතයට හිරගෙයක්!



ඔබ හිරගෙයක කොටු වෙන්න කලින් මදකට දැනුවත් වෙන්න
විවාහය උගුලක්
ගැහැණියක් විසින් ඔබ උගුලට හසු කර ගනිවී.
ඔබ විසින් ගැහැණිය උගුලට හසු කර ගනිවිී. 
එවිට ඔබ දෙපලට එකින් එක
වධයට, හිංසාවට,
පමුණුවා ගන්නට සදාකාලික අයිතිය නීතියෙන් ලබා දෙන
විවාහය සමාජය තුල බිහිවන්නේ
මිනිසා ආදරය කරන්නට 
හෝ
මිත්‍රත්වය රකින්නට
හෝ
අසමත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන්.
විවාහය ආදරයට ආදේශකයක් නොවේ.
එය හරිම දුප්පත් විකල්පයක් පමණයි.
ඔබ කවරෙකුට හෝ ආදරය කරනවා නම්,
එය නීත්‍යානුකූල කොන්ත්‍රත්තුවක්
කර ගන්න ඕනේ නැහැ.
නීතිමය කොන්ත්‍රත්තුවක් මගින්
සහතික කරන්න බැහැ, 
ඔබ හැම විටම
ඒ පුද්ගලයාට ආදරය කරන බව,
නීතියම කොන්ත්‍රත්තුවකට
ආදරය මත කිසිම බලයක් නැහැ.
විවාහය නීතියෙන් පිළිගත් කොන්ත්‍රත්තුවක්,
ඒක අයිතිකාරකමක්,
පුද්ගලික දේපල අයිතිකාරකමක්ම තමයි,
ඒක බලපත්‍රයක් - ඔබ අයිතිකාරයා.
මෙය හොදින්ම කියා පාන්නේ
එතැන ආදරය නැති බවයි.
නීතිය පැමිණෙන්නේ
එතැන ආදරය නැතිවී ගිය විටදි පමණයි.
එහෙම නොවන්න
ආදරයට ආදරය ප්‍රමාණවත්

---- ඕෂෝ ----





Tuesday, March 18, 2014

මග හරින සත්‍යය



ඔබ ඉදිරියට තබන අඩියක් පාසාම කවුරුන් විසින් හෝ ඔබව බිය ගනවනු ලබනවා. එක තත්වය හෝ ව්‍යවහාරය යැයි භාර ගැන්මට අපි හැමවිටම පෙළඹෙමින් සිටිනවා. නමුදු ඔබට හැකි වුණා නම් ඔබේ ධෛර්්‍යය එක් නිමේශයකට හෝ අත්හදා බලන්න ඔබට සතුටක් දැනේවී. අවිනිශ්චිත අනාගතයක් වුවත් ඔබට සතුටක් දැනේවී. ඒ නිදහසේ වින්දනය ඔබේ සිත පතුලටම දැනෙන මොහොතයි. අපි විසින්ම තනා ගත් අර්ථ බොහෝමයකට මැදිව අපි ජිවිතය විනාශ කර ගනිමින් හිදිනවා. 

ඔයා මට ආදරේද කියලා ආයේ ආයෙමත් අහන්න සිද්ධ වෙන තැනත් එතැනමයි වෙරෝනිකා.....
ඔයාගේ ආදවන්තයාගේ හිත තුල කිසිදු නිදහසක් වින්දයක් නැතිව ඔයාට බැහැ ඉස්සර වගේ කිසිදු දෙයක් ඒ විදහටම බලාපොරොත්තු වෙන්න. බොහොමක් මිනිසුන් සරළ රේඛාවක් දිගේ ඔහේ ගමන් කරමින් සිටිනවා. ඔවුන් ඉපදෙනවා, වැඩිවියට පත්වෙනවා, කසාද බඳිනවා, ළමයි හැදෙනවා, වයසට යනවා, ළමුන් රැකබලා ගනියි කියලා හිතනවා...... අතිශය සාමාන්‍ය මේ පෙළ විතරක්ම උල්ලංගණය කිරිමෙන් පමණක් ඔයාට ඔයාගේ විමුක්තිය මුණ ගැහෙන්නේ නැහැ. ඒ පෙළින් පිට පැනීමත් එක්ක ඔයාට සිද්ධ වෙනවා ඔයා මොන වගේ කෙනෙක්ද කියලා හිතන්න. මං හිතන්නේ දෙපාරට වඩා වැඩි වාර ගණනක් ඔයාට සිද්ධ වෙනවා හිතන්න. ඔයාට ඔනේ මහාප‍්‍රාණික ආදරයක් නම් ඔයාට සිද්ධ වෙනවා මිටින් අල්ලාගෙන සිටින ඔහුගේ ජිවිතය අත්හරින්න, ඔහුට යන්න දෙන්න, නිදහසක් දෙන්න, ආදරය බූමරංගක් සේ එවිට ආයෙමත් ඔයාව හොයාගෙන ඒවි..... අළුත්ම අළුත් විදිහට.  


බොහෝ ප‍්‍රථාපවත් මිනිසුන් සම්බන්ධතාවන් ඇතුලේ දියවෙලා යන්න පටන් ගන්නවා. ඒ ඇයි කියලා ඔයා නිකමටවත් හිතලා බලලා තියෙනවද ?

අපිට කලින් නිර්මිත කර ලද අර්ථයක් ඇතුලේ හදලා දීලා තියෙනවා බෙදා ගැනිමක් කියලා. එත් ඔයාට බෙදා ගන්න ඔයා ලග තියන්නේ මොනවද කියලවත් දන්නේ නැතුව නිකම්ම නිකං ශාරීරික ගණුදෙණුවක් ඇතුලේ හිර වෙලා ඔයා දියවෙන්න පටන් ගන්නවා. පේ‍්‍රමයක් ඇතුලේ නිදහසක් හොයන්න. එවිට ඔයාට තටු ලැබේවී ඔහුගේ පරාදිසයේ හැම අස්සක් මුල්ලකම පියාසර කරන්න.





Tuesday, January 28, 2014

හිස්තැනක්_____________________


වැහි බිදු එකිනෙක මා වටලාගෙන හෙමෙන් හොරෙන් වැටෙන්නට විය. මම ඒ වැහි බිදු නොපෑගෙන්න ඈත් මෑත්ව අඩි තබමින් ගමන් කළේමි. වැහිබිදු මගේ ගමනට බාදා පමුණනාවාට මං දැං කෙහෙත්ම කැමති නැත. නමුදු මට වඩා ඉක්මණින් වැහි බිදු මා වටලා ගනිමින් සිටියි. එක දෙක බිංදු මගේ නළලත මත පතිත වන්නේය.මම හුන් තැනම නැවතුණෙමි. වැහි බිදු ටක් ටක් හඩ නගමින් මගේ නළලත පතිත වන්නට විය. රූරා වැටෙන ඒ බිදු කාළකට පසු මගේ දෙකම්මුල් තෙත් කරමින් කොපුල් තල තෙතමාත්තු කළේය. වැහි බිදුවලට රිසි සේ මගේ නළලත මත වැටෙන්නට මම හිස කළු ආකාසය දෙසට හැරෙව්වෙමි. මොහොතකින් මගේ මුළු මුහුණම වැසී යන්නට පුංචියට ඇද හැළුණු වැහි බිදු අනෝරා වැස්සක්ව වටව මගේ මුළු සරුවාංගයම තෙතර බරිත කලේය. මම  දෑස් පියා ගතිමි.

ඔයාට මතකද වැස්සේ නටපු අතීතයක් අපිටත් තිබුණා. ඔයාගේ මුළු ඩෙනිම් කලිසමම තෙත් වෙලා යනකං අපි වැස්සේ තෙමුනා. එච්චර තෙමිලත් ඔයා කලිසමේ කකුල් දෙක නවාගෙන මඩකඩිති පුරා පැන පැන උන්නේ. මම ඔයාගේ පුංචි කුඩය යටට වෙලා ඔයාගේ හැම ඉරියව්වක්ම නිරික්ෂණය කරමින් උන්නේ. ඔයාගේ පිස්සුවට මම කොච්චර ආදරය කලාද?? ඔයාට මතකද අපිට එහෙම අතීතයක් තිබුණා. නැහැ ඔයාට එහෙම මතකයක් නැහැ.  එහෙම අතීතයක් අපිට කිසි දිනෙක තිබි තිබුණේ නැහැ. මේ මම, මේ මොහොතේදි දකින සිහිනයක්. ඔයාව ලගට තුරුළු කරන් මෙහෙම වැස්සේ තෙමෙන්න සදාකාළිකව මගේ හිතේ තිබුණු හීනයක්. කිසිදිනෙක මවිසින් සඵල නොකර ගත් හීනයක්. මම කිසි දිනෙක ඔයාට කියලා නැති හීනයක්. අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාළයකදී ඒ හීන ඔක්කෝම සඵල කර ගන්න බැහැ තමයි. මම හිතුවේ මුළු ජිවිත කාළය පුරාවටම ඔයාව මගේ අනෙක් පසින් තියාගෙන වෙනස් වෙනස් විධියේ ප්‍රේමයන්ගෙන් ඔයාව සිප ගන්න.

මම දෑස් විවර කළේමි. මේ අහසටත් නොකියාම මේ වැස්සටත් නොකියාම මේ පොළවටත් නොදෑනීම මගේ හිතටත් හොරා ඔයා ඈතක ඉගිලා ගිහිං. මම උණ සන්නිපාතය හැදෙනකං මේ වැස්සේ තෙමෙන්නද? මට මානසික ව්‍යාධියක් ඇතැයි සිතා කවුරුන් හෝ මාව මානසික රෝහලට ගෙන යන තෙක් මෙහෙම වැස්සේ තෙමෙන්නද? මගේ දෙකම්මුලෙන් රෑටා එන වැහි බිදුවක් මම දිව අගින් රහා බැලුවෙමි. එහි පදමට ලුණු රස ඇත. අහස පුරා විසිරි පැවති වැහි වළාතුළු මගේ ඇස් උඩම පායලා. කාළයකට පසු මට රිසි සේ මා තුල වු වේදනා සියල්ලක්ම පිට කර දැමිය හැක. දිවා කල වෙස් මුහුණක් පළදාගෙන මුළු ලෝකයක් රවටමින් දේශපාලනයල කලාවල සමාජය හොරකම් අරවා මේවා ගැන විවිධ කතා බහා කරමින් දිවා ආලෝකය මග හරින මට, මා තුල ඇති වේදනා සියල්ලක්ම පහව කරන්නට මේ වෙලාවයි. මේ ගණ කළුවරේ මා කවුදැයි සොයන්නෙකු නැත. මේ අනෝරා වැස්සේ මට සරණ වන්නට දිව එන පිංවතෙක් නැත. මේ මගේ මොහොතයි. හැම රාත්‍රියක අග හීනෙන් දොඩවා බිය වී නැගිටින මගේ ආතතීය මග හැර ගැනීමේ වෙලාවයි. 

වෙ   රෝ   නි   කා .............................................................


මම වර්ෂාවේ ශබ්ධය පරායා යන්නට කෑ ගැසුවෙමි. මේ අහස ඉරාගෙන ඔයා ඉන්න තැනකට ඇසෙන්නට කෑ ගැසුවෙමි. තාවකාලික දේවල් වලින් යටපත් කර ඇති මගේ හිත පැලී යන්නට මම කෑ ගැසුවෙමි. ඔයාට ඇහෙන්නේ නැහැ මට තේරෙනවා. චීන මහා ප්‍රකාරයටත් වැඩිය ලොකු සංකල්ප තාප්පයකින් ඔයාව වට කරලා තියෙන්නේ. සම්බන්ධතා කියන මතවාදි අල්ලසින් ඔයාව බැදලා තියෙන්නේ. එත් වෙරෝනිකා බර්ලීන් තාප්පය බින්දේ ආදරණිය මිනිස්සු කියලා කෙහේ හරි ඔයා කියවලා තිබ්බේම නැද්ද??? 

මේ වගේම කළුවර වැඩි දවසක ඔයා ඉගිල්ලිලා ගිහිං තිබුණා මටත් හොරා. මම තවම ඔයාට ආදරය කරන්න පටන් ගත්තා විතරයිනේ...... මම තවම ලැහැස්ති වුණා විතරයි..... එක එක ඉරියව්වලින් ඔයාට ප්‍රේම කරන්න. මම දන්නවා මම දන්නවා.......මං වගේ පිරිමියෙක් ගැන විශ්වාසය තියන්න හොද නැති විත්තිය. එහෙම විශ්වාස කලාම අවසානයේදී ඔයාට ඉතුරු වෙන්නේ වේදනාව විතරක්ම බවග එත් වෙරෝනිකා......... මම බරටම ඔයාට ප්‍රේම කරමි. මම ඔයාගේ දෙකොපුල් වල චමත්කාරයෙන් වික්ෂිප්ත වී හිදිමි. මේ සත්තමයි.........   ඔයාගේ ඒකාක්ගතාවයක් නැති ප්‍රේමය වරකට තුන් පාර බැගින් හැම නිමේෂයේදීම මාව උස්සලා පොලවේ ගහනවා. ඔයා දැනං උන්නද මාව කෙතරම් තෘප්තිමත් තිගැස්මක පත් වුණාද ඔයා මගේ ඇග උඩ නැගලා මගේ ෂර්ට් කොළරයෙන් අල්ලගෙන වකුටු වෙලා මාව සිප ගනිද්දී.... ඔයා දන්නවාද ඒක කෙතරම් අල්හාදයක් මට ඇති කලාද කියලා?? මගේ ආලය වචන දිගේ ඔයා ලගට ගලාගෙන එද්දි කිසිම තක්සේරුවක් නැතිව ඔයා වචනයෙන් වචනය මගෙන් ප්‍රශ්ණ කරද්දී..... ඔයා දන්නවද මට මාව හොයා ගන්න අයේමත් අළුතින්ම හිතන්න වුණා??? පුංචි පරිමාවක හිටිය මාව ලෝකයක් කලේ ඔයා...... ඔව් ඔයා...... ජිවිතේ වැ‍රදෙමින් වැරදි මාවත් වල යමින් අවසානයේ මට හමුවුණා තිතක්.... ඒ නවතින් නෙවෙයි....... ජිවිතේම ප්‍රේම කරන්න...... ප්‍රේමයක් ඇතුලේ දිය වෙන්න. මං බලා උන්නේ ප්‍රේමයට පණ දෙන්න. එත් ප්‍රේමය ඇවිත් මට පණ දුන්නා. අළුත් මිනිහෙක්ව මං ජිවත් වෙන්න උත්සහා කලා. 

වෙරෝනිකා...........
ඔයා ගිහිං........ මාව අත්හැරලා දමල ගහලා හිතුවක්කාර විදිහට ඔයා ගිහිං........ අතින් ඇදලා නවත්වන්නවත් මම ඉදිරිපත් වුණේ නැහැ නේද...?? ඇදලා අරං බලෙන් සිප අරගෙන ආදරෙන් යන්න එපා කියන්න මං හිටියේ නැහැ නේද...?? වෙරෝනිකා මං කොච්චර ආත්මාර්ථකාමියෙක්ද?? මං කොච්චර කුහකයෙක්ද?? මට ඔනේ වුණේ ඔයත් එක්ක නිදිවදින්න විතරක්මද? මට ඔයාව ඔනේ වුණේ මගේ තනිකම මකා ගන්න විතරක්මද? මට ඔනේ වුණේ ඔයාගෙන් බැබළෙන්න විතරක්මද?? එතකොට මං ඔයාට ප්‍රේම කරලම නැද්ද? එතකොට මං ඔයා ගැන හිතලම නැද්ද?? එතකොට මං ඔයාව මගේ මේ නපුරු පපුව මත තියාගෙන රැකබලාගෙනම නැද්ද?? ලෝකය කියන්නේ මායාවක් නම් මම දැං යථාර්තයට නැගිටින්න ඔනේ වෙරෝනිකා.......
මම මෙතෙක් කල් වෙලී උන් බොරුවෙන් මිදෙන්න මේ හොදම කාළයයි වෙරෝනිකා. ප්‍රේමය කියලා කියන්නේ ධනවාදයේදී තවත් හුවමාරු භාණ්ඩයක් පමණෙකැයි කියලා මං තෙරුම් ගන්න ඔනේ කාළයයි මේ වෙරෝනිකා.......

මම තවම උන්නේ දෑස් තදින් පියාගෙන අහස දෙසට නැඹුරු වු හිසින් යුතුවය. දැවැන්ත සුදු ආලෝකයක් මගේ ඇස් අතර එහේ මෙහේ දොලනය වනු මට දැනේ. විවිධ කටහඩවල් කිහිපයක්ද පසෙකින් මට යාන්තමින් ඇසේ. වෙරෝනිකා, ඒ බියකරු යථාර්තය නම් ඉතිං මට ඔයාව සදහටම මග හැරේවිද?? ඔයාගේ ප්‍රේමය මට කිසි දිනෙක ආයේ නොලැබි යාවිද?? මම තව තවත් තදින් දෑස් වසා ගෙනම උන්නෙමි.

පාළම මුදුනතින්
සද දිලෙයි
සව්දිය පිරෙයි 
මොහොතකට
ජිවිතය ගිළෙයි
මදු විත මත
දැං ඉතිං අමාවකයි

වැහී බිරමක්
ඇස් අගම නළියන කල
අන්ධකාරය මත
හිස ගසාගෙන හිදිමි
තොල් අගින් ගිලිහෙන
ඉකිබිදුම 
මධුවිත මත වැදී
ජිවිතය ඉල්ලයි
ආයේමත්
නුඹේන් 

එත් මේ අමාවකයි

නිකටින් දුමින් පැසවන
කල් ඉකුත් වී ගිය 
ප්‍රේමය
ඉඩෝරයක් කැන්දයි
රැයක දිග මත
නිදිවරව දිග ඇදී
අවසන් කවත් පබදමි
නුඹ නමට ම 

හෙට ඉදන් අමාවකයි

සිගරැට්ටුවක් අග
නිවී නිවී දැල්වෙන
දැල්වේවී අළු වන
මතක වැළකි
අඩක් හිස් වු 
විදුරුව තුල දිදුළන 
තරු පොකුරුකි
තරු අතර සැගව 
දුර ඈත යන
නුඹ ගැනමි සිතමි
ඒ නිසාමයි මේ අමාවක


මම දැස් හෙමෙන් විවර කළේමි. ඉහළින් පවතින යමකින් විහිදුවන සුදු ආලෝකය එක්වරම මට දරා ගත නොහැකිව මම නැවත ඇස් තද කර ගතිමි. යමෙකු මගේ කම්මුලට තට්ටු කිරිමෙන් මම ඇස් විවර කළේමි. සුදු ඇදුමින් සැරසුණු කඩිසරව එහේ මෙහෙ යන පිරිසකගෙන මා වට වී සිටියෙමි. මෙතෙක් පැවති එළිමහන් වර්ෂාව වෙනුවට සංවෘත කාමරයක ඇදක මම ලැග සිටිමි. ජිවිතය තේරුම් ගන්න මම වට පිට බැලිමි.

         කෝ වෙරෝනිකා................. කෝ වෙරෝනිකා.........

මම ඇද මත ඒ මේ අත දගලන්නට වීමි.

වෙ   රෝ   නි   කා .....................

මම කෑ ගැසුවෙම්. මගේ ශබ්දය හාත්පසම ගිගුම් දෙන්නට විය. නැවත නැවතත් මට මගේම හඩ ඇසෙන්නට විය. කටුවක් මගේ උරය විදගෙන ඇතුලට ගිලා බසියි. වේදනාවත් සමගම මම ඒ දෙස බැලුවෙමි. මා සිටින්නේ ගිලන්වය. ඔයාගේ නමින් හදවතේ පවතින වේදනාව තරම් වේදනාවක් කාටවත් පිටින් දෙන්න බැහැ ආයෙමත් මට........මට.......මම......... කළු පාට සංවෘත රාමුවක ගිලෙමින් හිදිමි. එත් කෙළවර පිහිටි අලෝකයේ උන්නේ ඔයා......... හිනා වීගෙන ම.....

මට කාළය ගැන හරි නිර්ණායකයක් දැං තවදුරටත් නැත. මා සිටින්නේ කොහේද? මා සිටියේ කොහේද? මා මෙතැනට ආවේ කොහොමද? යන්න පිළිබද මම කිසිත් නොදනිමි. මම සිටින්නේ පුද්ගලික රෝහලක් වැනි ස්ථානයක බව පමණක් මට පැහැදිලිය. දොරක් විවර කරගෙන පැමිනි හෙදියක් මගේ ඇදේ කෙළවර තිබු පත්‍රිකාවක් බලා පසෙකට වී මොනවදෝ කුරුටු ගායි.

    මිස්........
මම ආයෙසයෙන් වචන එළියට දැමුවෙමි.

 වෙරෝනිකා ආවේ නැද්ද.....??

ඇය තැතිගැන්මකින් යුතුව මා දෙස බලා උන්නාය. මදවේලාවක් එසේ සිටි ඇය ක්ෂණිකව කාමරයෙන් පිටව ගියාය. ඇය මට එතරම් බියවන්නට හේතුව කුමක්දැයි මම නොදනිමි. ඇය සමග ඊළගට කාමරයට පිවිසියේ දොස්තරවරයෙකි. ඔහු කුඩා ටොචයක් මගේ ඇස් වලට අල්ලමින් මා පරික්ෂා කරමින් හිදියි. නැවත පසෙක වු පත්‍රිකාව රැගෙන යමක් ලියා තබයි. 

    ඩොක්ටර්........
මම නවැත වරක් ආයාසයෙන් මගේ එකම ප්‍රශ්ණය දොස්තර වෙත යොමු කළේමි. 

 වෙරෝනිකා ආවේ නැද්ද......?

දොස්තර තෙමේ සෙමෙන් මා අසලට පැමිණියහ. 

කවුද මේ වෙරෝනිකා....??
මම ඔහු දෙසත් හෙදිය දෙසත් වරක් බැලුවෙමි.

මගේ බිරිද........

හ්ම්........ තාම කවුරුත් ආවේ නැහැ ඔයාව බලන්න......
ඔහුගේ ස්වරය යම් බැරූරම් බවක් විය. මදක් මා දෙස බලා සිටි ඔහු මගේ උරය තදින් අල්ලා මොහොතක් හිද පිටව ගියේය. හෙදිය මට ලබා දෙමින් තිබු සේලයින් බෝතලය මාරු කරමින් උන්නාය. ඇය හුරුබුහුටි චාම් ලක්ෂන ඇති තරුණියකි. ඇගේ ඇහි බැම මදක් ඝණව පිහිටා ඇති අතර ඇස් ආලේපණ නිසා ඇගේ මුහුණ වඩාත් කැපී පෙනෙන්නට විය. 

මිස්....... අද දිනේ කවදද....? මම කවදද මෙහේට ආවේ...?

ඔයා ඇවිල්ලා අදට දින හතරක් වෙනවාග අද 23 වැනිදා....
ඇගේ හඩ කරුණිකය. ආදරණිය. ලෙන්ගතුය.

අද වගේ දවසක තමයි මමයි වෙරෝනිකයි හොරෙන් කසාද බැන්දේ.

ඇය කරමින් හුන් වැඩය මදකට නවත්වා මා දෙස බලා උන්නාය. ඇගේ මුහුණේ අව්‍යාජ සිනහාවක් දක්නට තිබිණ. ඇය මා අසලට පැමිණ මගේ හිස සෙමෙන් පිරිමැද්දාය.


පස්සේ වෙලාවක මට කියන්නකෝ ඔයාගේ වෙරෝනිකා ගැන විස්තර ටිකක්. මමත් ආසයි ඔය තරම්ම වසානාව ඇති එයා ගැන දැන ගන්න.
මදකට හෝ ඇය මා අස්වසාලීමට සමත් විය. වැස්සත් මේ සෙලයින් සහිත ඇදත් අතර දුර මට මතක නැත. මට ඒ ගැන දැන ගැන්මටද උවමනාවක් නැත. වෙරෝනිකා..... මම මේ කොහේද ඉන්නේ, මම ඉන්නේ මැරෙන්න වැටිලද? එහෙම නැතිනම් මට වෙන අනතුරක් වුණාද? වෙරෝනිකා...... මං ඔයා ගැන සිහිනයක් දකියමිනුයි හිටියේ. එත් හිටි හැටියෙම මම ඇහැරෙන්නේ ඇදක් මත. මේ නිතර මා බිය වද්දන කටුක යථාර්තයද?

අදුර හෙමෙන් හෙමෙන් හාත් පසම ගිල ගනිමින් ඇත. කෙළවරක විවෘත්තව ඇති ජනේලයෙන් සිසිල් සුළගක් විත් මගේ කෙඩෙත්තු ගතිය මදකට හෝ නිවා දමමින් සිටියි. සුළගේ එහේ මෙහේ නටන ජනේල් තිරය අතරින් කෙළවරක් නැති අහස් ඉම රත් පාටින් බබළනු මට පෙනෙයි. මෙවන්ම වු සැදෑවක දින සියයෙන් හැදු පාළමක් යටදී මම ඔයාව සිප ගත්තා ඔයාට මතකද? යනෙන දෙනොදහකගේ වපර ඇස් තිබුණේ අපි වෙතටම නාභි ගත වෙලා. ඔයා මාව තල්ලු කරලා දලා මගේ ඇකයෙන් මිදිලා දිව්වා මතකද? එතැනින් ගිය හැට පැනපු අංකල් කෙනෙක් මට ඇහෙන නැහෙන ගාණට කිව්වේ වනචර හැත්ත කියලා. අංකල්ගේ ඇරියස් මගෙන් කවර් කර ගන්න හදන එකට මට අංකල් ගැන දුක හිතුනා. එහෙත් අද අපි කෙළවරක් හොයාගෙන ඇත. ඔයා මගෙන් ඈතටම පියාඹලා යන්න තිරණයක් අරං එක්කෝ මෙහෙම විදවන එක ඔයාට ඇති වෙලා වෙනත් වේදනා පථයකට ඔයා මාරු කරගෙන. එතැන් පටන් මම ඉබාගාතයේ සරන්නෙකු සේ සැරි සරන්නෙමි. මම යන අතක් ගැන මමද නොදැන උන්නෙමි. ඔයාට ලියපු කවි සීතලම රෑක ඔක්කෝම ගොඩ ගහලා ගිණි තියලා මම ගිණි තැපුවා. එතැන් ඉදන් මම ඔයාට ලියන එක නැවැත්තුවා. මගේ වචන වලින් වෙනත් ගැහැණුන් සන්තර්පනය ලබනවාට ඔයා අකමැති නිසාම මම මගේ හිත වාන් දා ගැන්ම අත්හිටෙව්වා. හිස් වෙච්ච ජිවිත මා ඉදිරියේ ලෙහා දමා මගේ වචන වලින් ඔවුන් ආයෙමත් ඔවුන්ගේ ජිවිතය පුරව ගනිමින් හිටියා. මම හිතුවේ එක පිං අතේ වැඩක් කියලා. එත් ඔයා කිව්වේ එක සල්ලාළකමක් කියලා. ඒ හින්දම මං පිං කරන එකත් නවත්වලා දැම්මා.

ගණ අදුරට යට වෙමින් තිබු මගේ කාමරයේ විදුලි ආලෝකය දල්වාගෙනම නර්ස් ඇතුලට ආවේ බෙහෙත් තැබු බන්දේසියක් අතැතිව ඇය නැවතුනේ මා අසලමය.

ඉතිං කොහොමද ඔයාට
මම මද සිනහවක් ආයාසයෙන් නංවා ගතිමි.

ඇයි ඔයා සිය දිවි හානිකර ගන්න උත්සහා කළේ.

මගේ ඇස් උඩ ඉන්දවිය. ඇය මේ කියන්නේ මොනවාද? මම එහෙම දෙයකට කිසිවිටෙක් නොපෙළඹුණෙමි. ඇය උන්නේ මගේ බෙහෙත් පිරික්සමිනි. මම දෙතුන් විටක් ඇගේ මුහුණ දෙස එක එල්ලයේ බලා සිටියද ඇය තම කාර්යයේම නිරත වී උන්නාය. 


මම එහෙම දෙයක් කර ගන්න හැදුවේ නැහැ.....
ඇය එක්වරම සිනහා වෙන්නට පටන් ගත්තාය. ඇගේ සිනහා හඩට මට යකා අරූඪ විය. ඒ බැව දැණිදෝ කොහේද ඇය ඒ වෙනුවෙන් මගේ සමාව ඉල්ලා සිටියාය.

ඒ වුණාට ඔයා පාළමකින් පල්ලෙහාට පනින්න උත්සහා කරන වෙලාවේ ඒක දැකලා තමයි මනුස්සයෙක් ඔයාව ඉස්පිරිතාලයට ගෙනත් ඇරවලා තියෙන්නේ. වෙලාවට ලොකු තුවාලයක් මුකුත් නැහැග කකුල තමයි.
මම ක්ෂණයකින් පොරෝණය මෑත් කර මගේ වම් කකුල දෙස බැලුවෙමි. විලුබේ සිට දණ හිස දක්වා එය වෙලා ඇත. වම් කකුලක් මට තියේනවාද කියා නොදැනෙයි. මම අතිශය කම්පාවකින් යුතුව ඇය දෙස බැලුවෙමි. ඇය ඉන්ජෙක්ෂන් කටුවක් ගෙන මගේ වම් අත පුළුන් කැබැල්ලකින් පිරිසිදු කර බෙහෙත් එන්නත් කලාය. 

බයවෙන්න එපා දවස් තුන හතරක් යනකං ඇදෙන් බහින් බැරි වෙයි.

ඇය බන්දේසියත් රැගෙන යාමට සැරසෙමින් උන්නාය.

මිස්....... වෙරෝනිකා දන්නවද මේ කිසි දෙයක්......???

තවදුරටත් ඇයගේ අව්‍යාජ සිනහාව මා වසග කරමින් සිටියි. ඇය ඇස් වලින් නැතැයි කියා දොර තදින් වසාගෙන නික්ම ගියාය.

සිහිනයකට එහා පැත්තේ යථාර්තය මුණ ගැසීම බරපතල හදිසි අනතුරක්. මම දිගු හුස්මක් හෙලා මගේ ලය සැහැල්ලු කර ගතිමි. මරණය කිසිවිටෙක් අපි අපෙක්ෂා කරන මොහොත තුලදී නොපැමිනෙන බැව් නම් මම දැං හොදා කාරවම දනිමි. 
එත් වෙරෝනිකා..... ඔයා තියපු හිස් තැනත් එක්ක මං දැං කල් ඉකුත් වෙන්න අරගෙන.








Monday, January 27, 2014

සිය දිවි නසා ගැනීම


මිනිහෙකුට අවශ්‍ය වෙලාවකදි මැරෙන්න වෙන්නේ අතිශය ම්ලේඡ්ච විදිහකට, එක ඇතුලේ මැරේන මිනිහට අත් වෙන්නේ ශාන්තියක් නෙවෙයි දැඩි වේදනාවක්. ඊට වඩා සුන්දර ක්‍රමයක් තිබුණා නම් මිනිහෙකුට සිය දිවි නසා ගන්න. මං කියන්නේ අයිතියක් ආගමික ඉගැන්වීම පසෙකලාපු තැනක්. ස්භාවධර්මය වෙත ආපසු යෑමක්. ලැජ්ජ බය වගේ මතු පිට කාරණා ඉස්මතු නොවන තැනක්. ඒක වෙනම වැඩක්!



අපි මේ ලොකේ ජිවත් වෙන්නේ අපි කලින් සැළසුම් කල උපාය මාර්ගික ක්‍රමයකට කියලා අපි මුලින් හිතාන හිටියට එක එහෙම නෙවෙයි. කලින්ම අපි වෙනුවෙන් නිශ්චිතව තනන ලද අත්තිවාරමක් මත, අපි කැමති වුණත් අකමැති වුණත් අපිට සිද්ධ වෙනවා ඒ අත්තිවාරම උඩ අපේ ජිවිතය නැමැති ගේ හදන්න. අපිව රවට්ටනවා ඒ අපේම එක තමයි කියලත්. තට්ටු ගණනාවක් ගහලත් කඩා වැටුණු ගෙවල් ඕන තරම් හොයා ගන්න අමාරු නැහැ. එත් කවුරුත් සොයා බලන්නේ නැත්තේ කලින් නිමවන ලද අත්තිවාරමක අපි හදන ගේ කොහොම එකක් වෙයිද කියන එක. ඒක මං මෙහෙම කියන්නම් ‍මිල මුදල් යහමින් තියෙන මිනිසුන්ට හොද වන සමහර දේවල් මිල මුදල් අග හිග මිනිසුන්ට නරක වෙන්නේ ඉහත කියු අත්තිවාරම හින්දා මයි. කුසල් අකුසල් මත අපගේ උප්පත්තියේ පැවැත්ම තිරණය වනවා කියන ආගමික න්‍යාය අපි මෙතැනදි අමතක කලොත් මිනිහෙකුට සිය දිවි නසා ගැනිමේ අයිතියවත් තමා විසින් නිර්ණය කල යුතුයි! එක ආයෙමත් ස්භාවධර්මය වෙත ආපසු යෑමක්. ඒක වෙනම වැඩක්!


වෙරෝනිකා....... 

මිනිස්සු මැරෙන්න තිරණය කරන්නේ පිටත පීඩනය තමා තුල දරා ගැනීමේ කාළ පරාසය ඉක්මවා යන කාලයක. ඔයා අහල තියෙනවද ආදරේ කල් ඉකුත් වෙනවයි කියලා, කල් ඉකුත් වන ජිවිතේ ඇතුලේ ආදරය එන්න එන්න තිරිහං වෙනවා. ජිවිතේ එන්න එන්න වයසට යන කොට ආදරේ එන්න එන්න තරුණ වෙනවා. එහෙම වෙන්න ඔයා තුල ආදරේට ඉඩක් තියෙන්න ඔනේ. ඔයාට එහෙම ආදරයක් දරා ගන්න උත්සහායක් තියෙන්න ඔනේ. හැම තැනකින්ම පැනලා යන මං වගේ මිනිහෙකුට නැති වුණත් ඔයාගේ ඇස් ඇතුලේ මං එහෙව් ශක්තියක් දකිනවා. 


වෙරෝනිකා........ 

මැරෙන්න යන මිනිහෙකුට උරහිසක් දික්කරන්න ඒ මිනිහා වරුවක් හරි අඩලා ඒ දුක තුනී කර ගන්නවා. ආදරේ කියන්නේත් අඩන්න උරහිසක් වගේම තුරුළු වෙන්නත් උරහිසක් වගේ තැනක්.! හැබැයි අවශ්‍යතාවයට විතරක් භාවිතා කරන දෙයක් නෙවෙයි, ඒ ඔයාගේ පැවැත්මේ ස්භාවය. ඔයාට වෙන සමහර විට ඉස්සෙල්ලා ම දන් දෙන්නා බවට පත්වෙන්න. කිසි දෙයක් නොලැබුණත් කාළයක් නිකම්ම නිකං බලා ඉන්න. 


වෙරෝනිකා......

මං හිටපු කළුවර වාට්ටුවෙන් එළියට පැනලා මං රෑට රෑට සද එළියේ ඇවිදිනවා, ඔයාව දැක්ක දවසේ ඉදන් මං හොරෙන් හොරෙන් ඔයා වටේ කැරකැවෙනවා. අන්තිමට උසම උස තාප්පෙන් පැනලා මං ඔයාව හොයා ගෙන එනවා. ඒ එන්නේ මැරෙන්න හිතාගෙන නෙවෙයි. එත් නොමැරෙයි කියලා හිතාගෙනත් නෙවෙයි. මැරෙන්න බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ වගේ චණ්ඩි කතා කිව්වට යක්කු ඉන්නේත් අපිත් එක්කමයි කියලා දැක්කම සොහොන හොදයි කියලා දැනෙන්න ගන්නවා. එත් වෙරෝනිකා......... ඇත්තටම මේ මොහොතේ මං ජිවත් වෙන්නේ ඔයාගේ ආදරයට තියෙන ලෝභකමට.......


ලොක්කෙක්ගේ පුතෙක් ලෝකෙට පේන්න රොකට් යවද්දි මං ඔයාට පේන්න අකුරු අමුණනවා.... ඒ ඔයා මගේ ලෝකයම නිසා.......... ලෝකයක් හොයා ගන්න බැරි වුණ මිනිස්සු ලෝකේටම පේන්න තවම එක එක දේවල් කරමින් ඉන්නවා. ආදරේ කියන්නේ සිය දිවි නසා ගැන්නමට වඩා අමාරු වැඩක්!!!



මේ මොහොතේදී මරණය කියන්නේ මම නම්, ප්‍රේමය කියන්නේ අනිවාර්යෙන්ම ඔයා!!!