Tuesday, March 6, 2012

හිරු බිහිරී සඳ ගොළුයි තරකා අන්දයි_________


වෙරෝනිකා...................
ඉස්සර පුංචි හිත් පීඩාවකට වුණත් මං දුවගෙන එන්නේ ඔයා ලගට, ඇවිත් කිසිම හාවක් හුවක් නැතිව ඔයාගේ පපුව මත ඔළුව ගහගෙන සැනසීම හොයනවා. මුළු විශ්වයම පැරදිලා හිටියත්, මුළු විශ්වයම මට එරෙහින නැගී හිටියත් ඔයාගේ පපු තුරුලේ මට ශාන්තියක් තිබුණා, සැනසිල්ලක් තිබුණා, ආදරයක් තිබුණා. ඔයා මගේ ඉත්තෑ කූරු කෙස් අතර ඔයාගේ දිගු ඇගිලි තුඩු වලින් මට සෙත්පතනවා. මම ඔයාගේ සුවද ඉව කර කර සැනසීම මගේ කර ගන්නවා. මොහොතක් ඉන්න ඔයා දොඩමළු වෙනවා. දවස ගැන, සිද්ධි ගැන, මිනිස්සු ගැන, දේවල් ගැන..... ලොකු විස්තරයක්..... මම ඇස් වහගෙනම අහං ඉන්නවා, ඔයාගේ පැහිච්චකං ගැන තනියෙන් හිනා වෙනවා. කල් වේලා අරං හෙමින් සැරේ ඔයා අහනවා 'මගේ කුමාරයට මොකද දුක හිතුනේ' කියලා... ඔයාට මතකද මම ඇස් ඇරලා ඔළුව උස්සලා ඔයාගේ දිහා බලනවා, ඔයා කිව්වා වගේ ලොකු විස්තරයක් මගේ ඇස් ඇතුලේ............

වෙරෝනිකා......
ඔයාට ඇරෙන්න මේ ඇස් කියවන්න පුළුවන් වෙන කාටද? ඔයා තව තවත් තදට මාව තුරුල්කර ගන්නවා. ඔයා සතු හැම ශක්තියක්ම පාවිච්චි කරලා, ඔයා සතු මුළු ආදරේම මා තුලට කාන්දු වෙන්න ඉඩ හැරලා ඔයා මාව ආයෙමත් ජිවත් කරවනවා. ආයේ ආයෙමත් මාව ඔයාගේ බවට පත් කර ගන්නවා. ආදරේ කියන්නේ කැරැල්ලක්, නිම නොවන සදාතනික කැරැල්ලක්,  තමන් තුලම තමන් වෙනුවෙන් කරන. තමන්ගේ මමත්වය කුඩු කර ගන්න ට්‍රයි කිරිමක්, තනියෙන් බුදු වෙන්න තියෙන ඉඩ අහුරවගෙන ඒ මග අනෙකෙකු හා බෙදා ගන්නා තත්වයක්. 

වෙරෝනිකා..........
එහෙම නිර්වාණික ප්‍රේමයක් මම ඔයාගෙන්  අත්විදින්නේ , එහෙම නිදහස්කාමි ප්‍රේමයක් මං ඔයාගෙන් අත්විදින්නේ, 
ගත වන හැම තප්පරයක්ම ඉස්සර වගේ නොවුණත් ඉස්සර වගේම හැම වෙලාවෙම මට හිතෙනවා ඔයාගේ තුරුලට දුවගෙන එන්න. ඉස්සර වගේ ඔයාගේ ආදරය ඇතුලේ ආයෙමත් දියවෙන්න.....

වෙරෝනිකා මට ඉඩ දෙන්න...........