Friday, October 11, 2013

මේ, ඒ වසන්තයේ නෙවෙයි..!!!



සද තිබුණේ මගේ උරහිස රැදිලාය. බොහෝ රළ පහරවල් වෙරළට ඇවිත් ආපහු යන්නට ඇත. බොහෝ මිනිසුන් රැල්ල සමග සෙල්ලම් කර යන්නට ඇත. ගෙදර යන අන්තිම කුරුල්ලාත් පියඹා යන්නට ඇත. එත් සද හිතේ හැටියට මා උරහිස මත හිස හොවා සිටියි. අප්‍රිකාව පැත්තෙන් ටයිටැනික් වගේ නැවක් ලයිට් ගොඩක් දාලා තිබුණා. මුහුදු හුළග මගේ නහයට ගෙන ආවේ අමුතු හැගීම් මාලාවක්. උස් පහත් වෙවි ඇහෙන එකම ගෝෂාකාරි ශබ්දය අප අතර තිබුණු නිහඩබව ගුප්ත බවකට පෙරලමින් තිබුණා. රස්තියාදුවේ ගිය අන්තිම කපුටත් පරක්කුවෙලා ගෙදර යන ගමන් හැර අහසත් හිටියේ අපි වගේම මුණිවත රකිමින්. හිරු බැස ගිහිං හෝරා කිහිපයක් වුණත් සදට වුවමනාවක් තිබුණේ නැහැ හිස ඔසවා අහසට නැග ගන්න. වෙරළ වගේම තවමත් මගේ උරහිස තෙත්බරිතය. ටිකකට වේලුනත් ආයෙමත් තෙමෙන්න ගන්නවා. 

"මේ නිහඩ බව ඇතුලේ හිරකරලා මාව මරා දාන්න මං කරපු වරද මොකක්ද....??"

මුහුදේ ගෝෂාකාරි ශබ්දයෙන් පිරි තිබු කන් අගුලු ඇරලන්න ඇය දොඩමළු වුවාය. එහෙත් තරු රෑනක් දරා සිටින අහස් කුස සේ මං නිහඩවම උන්නෙමි. 

"කියන්න..... මට කියන්න.... එන්න එන්ම ඔයා ඔයාගේ ඇතුලෙම හැංගෙන්න මගේ අතින් වු‍ණ වැරැද්ද මොකක්ද?"

ඇ සෙමෙන් ඇගේ බොද දෑස් පිසලා ගත්තාය. එහෙත් හෝ ගානා මුහුද ඇගේ චිත්‍රය නොවන වගනම් විශ්වාසය. 

"මට ආදරය කරලා.... මාව දරාගෙන ඉදලා ඔයාට තෙහෙට්ටුද...??"


පහ වසර ළමයෙකු සේ ඇය ඇසූවත් අහන්නේ විශ්ව විද්‍යාල ප්‍රශ්ණය. ජිවිතයේ හැම ගැටලුවකට ම වචන වලින් උත්තර තියෙනවා නම් අපි අලසම අලස මිනිසුන් කොඨටාසයක් වේවි. ජිවිතේට වචන ඔන වෙන්නේ බැරිම තැනක යොදන්න. අපිට අපිව නොදැනෙන්න එකත් එකට හේතුවක්ද? 

"ඔයා තනි උත්තර හොයවා! තනියෙන් උත්තර හොයනවා! ඔයා තිනයෙන් හිතනවා! ඔයා තනියෙන් ජිවත් වෙනවා! කවදා ඉදලද ඔයා ඔහොම වුණේ..??"

උරහිස මත බාවා තිබු හිස එකවරම ඔසවා ගත් ඇය කොණ්ඩය සකසා ගන්නට විය. ඈ ලක ලැහැස්ති වන්නේ පරක්කු වු විලසය. මම තවම මගේ හිතත් සමග පොර බදිමින් සංසුන්වන්නට උත්සහා ගනිමි. මෙතුවක් කල් ඇය ඇගේ හිත සමග නොනවතින අරගලයක් කොට අවසන ප්‍රශ්ණ පත්‍රයකින් හිත රවටා ගත්තාය. නමුදු මෙතුවක් නිසොල්මන්ව තිබු මගේ හිත දැං තොන්තුවන්නට විය. 

මේ නිහඩබව බිද කෑ ගසා ඇයට කියන්නට හැකිනම්......... ඇය නිසා වරින් වර තැලෙන ආයෙමත් හැදෙන හැදි හැදී බිදෙන මගේ හිතේ විලාපය. එත් මම මගේ හිත වචන වලට නොපෙරලුවෙමි. මම, මගේ හිත මාතුලම රදවාගෙන දුක්විදින්නට තිරණය කළේමි. 


මගේ දැහැන් බිදිමින් ඇය නැගිට උන්නාය. ඇගේ කතා කරන ඇස් පවා රැදි ඇත්තේ මා වෙත බව මා දනිමි. ඒ ඇස් වලින් පවා අසන පැනයන්ගෙන පැන යාමට මෙන් මං අහකම බලා උන්නෙමි. මා ගැන මටත් වඩා දන්නා ඇය අවසන් ප්‍රශ්ණය මවෙත යොමු කලාය, ඇත්තටම ඇය එයින් දමා ගැසුවාය, නැතිනම් මගේ නිහඩබව මරාගෙන මැරෙන්නට ඇය තිරණය කළාය. 

"දැං ඔයා මගේ දිහා නිකමටවත් බලන්නෙවත් නැහැ නේද...??..... කොහොම වුණත් මේ අපි අතර තියෙන නිහඩ බවට මං එච්චර කැමති නැහැ! අපි යං...."

කෙතරම් වෙරළ මත රැදෙන්නට උත්සහ කළද ආයේ ආයෙමත් මුහුදට ගහගෙන ගියත් ආයෙමත් නැගී වෙරළ මතම දිවි පුදන රළක් සේ ඇය හිත හදාගෙන ඇති බැව් මට වැටහිණි. එහෙත් ආදරය ඇතුලේ මං අබ්බගාත වෙමින් සිටිමි. මහාප්‍රණික ආදරයක් හිමින් හිමින් ඇගෙන් මග හැරෙන හැටි මං නිහඩවම බලා උන්නෙමි. මං හිතට වද දි දී ඇය සමග යන්නට හැරිණි. 
අප්‍රිකාව පැත්තේ ඇති ටයිටැනික් නැව තාම එතැනමය. ජැක් සහ රෝස් විතරක් නැත.



5 comments:

  1. ආදරය හිත නොපිළිගන්නා තැනටම පත් වෙලා..
    සිත රිදුනු තරම්, ඔබ දන්නවනම්, තවමත් ඔයා ඉන්නේ නෑ...

    ReplyDelete
  2. වහින වැස්සක් නොවේ
    ගලන ගඟුලක් නොවේ
    ජීවිතය මේ වගේ
    හඬන කඳුළක් නොවේ....

    ReplyDelete
  3. කාලෙකට පස්සේ වෙරෝනිකාගෙන් පෝස්ට් එකක්.. හිතට දැනුනා..

    ReplyDelete
  4. ප්‍රශ්ණ ගොඩක් නේද ඇත්තටම අපි අපේ හිත් ඇතුලෙම අතරමං වෙලා නේද
    ආදරේ නිසාද නැත්තමි ආදරේ ගැන ප්‍රශණ වලට උත්තර නැතුවද මොනවා කරන්නද
    තාම අතරංම වෙලා ඉන්නකොට ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අපෙන් අහන ප්‍රශ්ණවලට උත්තර අහන කෙනාම හොයා ගනියි කියලා නෙවෙයිද

    ReplyDelete