Tuesday, January 28, 2014

හිස්තැනක්_____________________


වැහි බිදු එකිනෙක මා වටලාගෙන හෙමෙන් හොරෙන් වැටෙන්නට විය. මම ඒ වැහි බිදු නොපෑගෙන්න ඈත් මෑත්ව අඩි තබමින් ගමන් කළේමි. වැහිබිදු මගේ ගමනට බාදා පමුණනාවාට මං දැං කෙහෙත්ම කැමති නැත. නමුදු මට වඩා ඉක්මණින් වැහි බිදු මා වටලා ගනිමින් සිටියි. එක දෙක බිංදු මගේ නළලත මත පතිත වන්නේය.මම හුන් තැනම නැවතුණෙමි. වැහි බිදු ටක් ටක් හඩ නගමින් මගේ නළලත පතිත වන්නට විය. රූරා වැටෙන ඒ බිදු කාළකට පසු මගේ දෙකම්මුල් තෙත් කරමින් කොපුල් තල තෙතමාත්තු කළේය. වැහි බිදුවලට රිසි සේ මගේ නළලත මත වැටෙන්නට මම හිස කළු ආකාසය දෙසට හැරෙව්වෙමි. මොහොතකින් මගේ මුළු මුහුණම වැසී යන්නට පුංචියට ඇද හැළුණු වැහි බිදු අනෝරා වැස්සක්ව වටව මගේ මුළු සරුවාංගයම තෙතර බරිත කලේය. මම  දෑස් පියා ගතිමි.

ඔයාට මතකද වැස්සේ නටපු අතීතයක් අපිටත් තිබුණා. ඔයාගේ මුළු ඩෙනිම් කලිසමම තෙත් වෙලා යනකං අපි වැස්සේ තෙමුනා. එච්චර තෙමිලත් ඔයා කලිසමේ කකුල් දෙක නවාගෙන මඩකඩිති පුරා පැන පැන උන්නේ. මම ඔයාගේ පුංචි කුඩය යටට වෙලා ඔයාගේ හැම ඉරියව්වක්ම නිරික්ෂණය කරමින් උන්නේ. ඔයාගේ පිස්සුවට මම කොච්චර ආදරය කලාද?? ඔයාට මතකද අපිට එහෙම අතීතයක් තිබුණා. නැහැ ඔයාට එහෙම මතකයක් නැහැ.  එහෙම අතීතයක් අපිට කිසි දිනෙක තිබි තිබුණේ නැහැ. මේ මම, මේ මොහොතේදි දකින සිහිනයක්. ඔයාව ලගට තුරුළු කරන් මෙහෙම වැස්සේ තෙමෙන්න සදාකාළිකව මගේ හිතේ තිබුණු හීනයක්. කිසිදිනෙක මවිසින් සඵල නොකර ගත් හීනයක්. මම කිසි දිනෙක ඔයාට කියලා නැති හීනයක්. අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාළයකදී ඒ හීන ඔක්කෝම සඵල කර ගන්න බැහැ තමයි. මම හිතුවේ මුළු ජිවිත කාළය පුරාවටම ඔයාව මගේ අනෙක් පසින් තියාගෙන වෙනස් වෙනස් විධියේ ප්‍රේමයන්ගෙන් ඔයාව සිප ගන්න.

මම දෑස් විවර කළේමි. මේ අහසටත් නොකියාම මේ වැස්සටත් නොකියාම මේ පොළවටත් නොදෑනීම මගේ හිතටත් හොරා ඔයා ඈතක ඉගිලා ගිහිං. මම උණ සන්නිපාතය හැදෙනකං මේ වැස්සේ තෙමෙන්නද? මට මානසික ව්‍යාධියක් ඇතැයි සිතා කවුරුන් හෝ මාව මානසික රෝහලට ගෙන යන තෙක් මෙහෙම වැස්සේ තෙමෙන්නද? මගේ දෙකම්මුලෙන් රෑටා එන වැහි බිදුවක් මම දිව අගින් රහා බැලුවෙමි. එහි පදමට ලුණු රස ඇත. අහස පුරා විසිරි පැවති වැහි වළාතුළු මගේ ඇස් උඩම පායලා. කාළයකට පසු මට රිසි සේ මා තුල වු වේදනා සියල්ලක්ම පිට කර දැමිය හැක. දිවා කල වෙස් මුහුණක් පළදාගෙන මුළු ලෝකයක් රවටමින් දේශපාලනයල කලාවල සමාජය හොරකම් අරවා මේවා ගැන විවිධ කතා බහා කරමින් දිවා ආලෝකය මග හරින මට, මා තුල ඇති වේදනා සියල්ලක්ම පහව කරන්නට මේ වෙලාවයි. මේ ගණ කළුවරේ මා කවුදැයි සොයන්නෙකු නැත. මේ අනෝරා වැස්සේ මට සරණ වන්නට දිව එන පිංවතෙක් නැත. මේ මගේ මොහොතයි. හැම රාත්‍රියක අග හීනෙන් දොඩවා බිය වී නැගිටින මගේ ආතතීය මග හැර ගැනීමේ වෙලාවයි. 

වෙ   රෝ   නි   කා .............................................................


මම වර්ෂාවේ ශබ්ධය පරායා යන්නට කෑ ගැසුවෙමි. මේ අහස ඉරාගෙන ඔයා ඉන්න තැනකට ඇසෙන්නට කෑ ගැසුවෙමි. තාවකාලික දේවල් වලින් යටපත් කර ඇති මගේ හිත පැලී යන්නට මම කෑ ගැසුවෙමි. ඔයාට ඇහෙන්නේ නැහැ මට තේරෙනවා. චීන මහා ප්‍රකාරයටත් වැඩිය ලොකු සංකල්ප තාප්පයකින් ඔයාව වට කරලා තියෙන්නේ. සම්බන්ධතා කියන මතවාදි අල්ලසින් ඔයාව බැදලා තියෙන්නේ. එත් වෙරෝනිකා බර්ලීන් තාප්පය බින්දේ ආදරණිය මිනිස්සු කියලා කෙහේ හරි ඔයා කියවලා තිබ්බේම නැද්ද??? 

මේ වගේම කළුවර වැඩි දවසක ඔයා ඉගිල්ලිලා ගිහිං තිබුණා මටත් හොරා. මම තවම ඔයාට ආදරය කරන්න පටන් ගත්තා විතරයිනේ...... මම තවම ලැහැස්ති වුණා විතරයි..... එක එක ඉරියව්වලින් ඔයාට ප්‍රේම කරන්න. මම දන්නවා මම දන්නවා.......මං වගේ පිරිමියෙක් ගැන විශ්වාසය තියන්න හොද නැති විත්තිය. එහෙම විශ්වාස කලාම අවසානයේදී ඔයාට ඉතුරු වෙන්නේ වේදනාව විතරක්ම බවග එත් වෙරෝනිකා......... මම බරටම ඔයාට ප්‍රේම කරමි. මම ඔයාගේ දෙකොපුල් වල චමත්කාරයෙන් වික්ෂිප්ත වී හිදිමි. මේ සත්තමයි.........   ඔයාගේ ඒකාක්ගතාවයක් නැති ප්‍රේමය වරකට තුන් පාර බැගින් හැම නිමේෂයේදීම මාව උස්සලා පොලවේ ගහනවා. ඔයා දැනං උන්නද මාව කෙතරම් තෘප්තිමත් තිගැස්මක පත් වුණාද ඔයා මගේ ඇග උඩ නැගලා මගේ ෂර්ට් කොළරයෙන් අල්ලගෙන වකුටු වෙලා මාව සිප ගනිද්දී.... ඔයා දන්නවාද ඒක කෙතරම් අල්හාදයක් මට ඇති කලාද කියලා?? මගේ ආලය වචන දිගේ ඔයා ලගට ගලාගෙන එද්දි කිසිම තක්සේරුවක් නැතිව ඔයා වචනයෙන් වචනය මගෙන් ප්‍රශ්ණ කරද්දී..... ඔයා දන්නවද මට මාව හොයා ගන්න අයේමත් අළුතින්ම හිතන්න වුණා??? පුංචි පරිමාවක හිටිය මාව ලෝකයක් කලේ ඔයා...... ඔව් ඔයා...... ජිවිතේ වැ‍රදෙමින් වැරදි මාවත් වල යමින් අවසානයේ මට හමුවුණා තිතක්.... ඒ නවතින් නෙවෙයි....... ජිවිතේම ප්‍රේම කරන්න...... ප්‍රේමයක් ඇතුලේ දිය වෙන්න. මං බලා උන්නේ ප්‍රේමයට පණ දෙන්න. එත් ප්‍රේමය ඇවිත් මට පණ දුන්නා. අළුත් මිනිහෙක්ව මං ජිවත් වෙන්න උත්සහා කලා. 

වෙරෝනිකා...........
ඔයා ගිහිං........ මාව අත්හැරලා දමල ගහලා හිතුවක්කාර විදිහට ඔයා ගිහිං........ අතින් ඇදලා නවත්වන්නවත් මම ඉදිරිපත් වුණේ නැහැ නේද...?? ඇදලා අරං බලෙන් සිප අරගෙන ආදරෙන් යන්න එපා කියන්න මං හිටියේ නැහැ නේද...?? වෙරෝනිකා මං කොච්චර ආත්මාර්ථකාමියෙක්ද?? මං කොච්චර කුහකයෙක්ද?? මට ඔනේ වුණේ ඔයත් එක්ක නිදිවදින්න විතරක්මද? මට ඔයාව ඔනේ වුණේ මගේ තනිකම මකා ගන්න විතරක්මද? මට ඔනේ වුණේ ඔයාගෙන් බැබළෙන්න විතරක්මද?? එතකොට මං ඔයාට ප්‍රේම කරලම නැද්ද? එතකොට මං ඔයා ගැන හිතලම නැද්ද?? එතකොට මං ඔයාව මගේ මේ නපුරු පපුව මත තියාගෙන රැකබලාගෙනම නැද්ද?? ලෝකය කියන්නේ මායාවක් නම් මම දැං යථාර්තයට නැගිටින්න ඔනේ වෙරෝනිකා.......
මම මෙතෙක් කල් වෙලී උන් බොරුවෙන් මිදෙන්න මේ හොදම කාළයයි වෙරෝනිකා. ප්‍රේමය කියලා කියන්නේ ධනවාදයේදී තවත් හුවමාරු භාණ්ඩයක් පමණෙකැයි කියලා මං තෙරුම් ගන්න ඔනේ කාළයයි මේ වෙරෝනිකා.......

මම තවම උන්නේ දෑස් තදින් පියාගෙන අහස දෙසට නැඹුරු වු හිසින් යුතුවය. දැවැන්ත සුදු ආලෝකයක් මගේ ඇස් අතර එහේ මෙහේ දොලනය වනු මට දැනේ. විවිධ කටහඩවල් කිහිපයක්ද පසෙකින් මට යාන්තමින් ඇසේ. වෙරෝනිකා, ඒ බියකරු යථාර්තය නම් ඉතිං මට ඔයාව සදහටම මග හැරේවිද?? ඔයාගේ ප්‍රේමය මට කිසි දිනෙක ආයේ නොලැබි යාවිද?? මම තව තවත් තදින් දෑස් වසා ගෙනම උන්නෙමි.

පාළම මුදුනතින්
සද දිලෙයි
සව්දිය පිරෙයි 
මොහොතකට
ජිවිතය ගිළෙයි
මදු විත මත
දැං ඉතිං අමාවකයි

වැහී බිරමක්
ඇස් අගම නළියන කල
අන්ධකාරය මත
හිස ගසාගෙන හිදිමි
තොල් අගින් ගිලිහෙන
ඉකිබිදුම 
මධුවිත මත වැදී
ජිවිතය ඉල්ලයි
ආයේමත්
නුඹේන් 

එත් මේ අමාවකයි

නිකටින් දුමින් පැසවන
කල් ඉකුත් වී ගිය 
ප්‍රේමය
ඉඩෝරයක් කැන්දයි
රැයක දිග මත
නිදිවරව දිග ඇදී
අවසන් කවත් පබදමි
නුඹ නමට ම 

හෙට ඉදන් අමාවකයි

සිගරැට්ටුවක් අග
නිවී නිවී දැල්වෙන
දැල්වේවී අළු වන
මතක වැළකි
අඩක් හිස් වු 
විදුරුව තුල දිදුළන 
තරු පොකුරුකි
තරු අතර සැගව 
දුර ඈත යන
නුඹ ගැනමි සිතමි
ඒ නිසාමයි මේ අමාවක


මම දැස් හෙමෙන් විවර කළේමි. ඉහළින් පවතින යමකින් විහිදුවන සුදු ආලෝකය එක්වරම මට දරා ගත නොහැකිව මම නැවත ඇස් තද කර ගතිමි. යමෙකු මගේ කම්මුලට තට්ටු කිරිමෙන් මම ඇස් විවර කළේමි. සුදු ඇදුමින් සැරසුණු කඩිසරව එහේ මෙහෙ යන පිරිසකගෙන මා වට වී සිටියෙමි. මෙතෙක් පැවති එළිමහන් වර්ෂාව වෙනුවට සංවෘත කාමරයක ඇදක මම ලැග සිටිමි. ජිවිතය තේරුම් ගන්න මම වට පිට බැලිමි.

         කෝ වෙරෝනිකා................. කෝ වෙරෝනිකා.........

මම ඇද මත ඒ මේ අත දගලන්නට වීමි.

වෙ   රෝ   නි   කා .....................

මම කෑ ගැසුවෙම්. මගේ ශබ්දය හාත්පසම ගිගුම් දෙන්නට විය. නැවත නැවතත් මට මගේම හඩ ඇසෙන්නට විය. කටුවක් මගේ උරය විදගෙන ඇතුලට ගිලා බසියි. වේදනාවත් සමගම මම ඒ දෙස බැලුවෙමි. මා සිටින්නේ ගිලන්වය. ඔයාගේ නමින් හදවතේ පවතින වේදනාව තරම් වේදනාවක් කාටවත් පිටින් දෙන්න බැහැ ආයෙමත් මට........මට.......මම......... කළු පාට සංවෘත රාමුවක ගිලෙමින් හිදිමි. එත් කෙළවර පිහිටි අලෝකයේ උන්නේ ඔයා......... හිනා වීගෙන ම.....

මට කාළය ගැන හරි නිර්ණායකයක් දැං තවදුරටත් නැත. මා සිටින්නේ කොහේද? මා සිටියේ කොහේද? මා මෙතැනට ආවේ කොහොමද? යන්න පිළිබද මම කිසිත් නොදනිමි. මම සිටින්නේ පුද්ගලික රෝහලක් වැනි ස්ථානයක බව පමණක් මට පැහැදිලිය. දොරක් විවර කරගෙන පැමිනි හෙදියක් මගේ ඇදේ කෙළවර තිබු පත්‍රිකාවක් බලා පසෙකට වී මොනවදෝ කුරුටු ගායි.

    මිස්........
මම ආයෙසයෙන් වචන එළියට දැමුවෙමි.

 වෙරෝනිකා ආවේ නැද්ද.....??

ඇය තැතිගැන්මකින් යුතුව මා දෙස බලා උන්නාය. මදවේලාවක් එසේ සිටි ඇය ක්ෂණිකව කාමරයෙන් පිටව ගියාය. ඇය මට එතරම් බියවන්නට හේතුව කුමක්දැයි මම නොදනිමි. ඇය සමග ඊළගට කාමරයට පිවිසියේ දොස්තරවරයෙකි. ඔහු කුඩා ටොචයක් මගේ ඇස් වලට අල්ලමින් මා පරික්ෂා කරමින් හිදියි. නැවත පසෙක වු පත්‍රිකාව රැගෙන යමක් ලියා තබයි. 

    ඩොක්ටර්........
මම නවැත වරක් ආයාසයෙන් මගේ එකම ප්‍රශ්ණය දොස්තර වෙත යොමු කළේමි. 

 වෙරෝනිකා ආවේ නැද්ද......?

දොස්තර තෙමේ සෙමෙන් මා අසලට පැමිණියහ. 

කවුද මේ වෙරෝනිකා....??
මම ඔහු දෙසත් හෙදිය දෙසත් වරක් බැලුවෙමි.

මගේ බිරිද........

හ්ම්........ තාම කවුරුත් ආවේ නැහැ ඔයාව බලන්න......
ඔහුගේ ස්වරය යම් බැරූරම් බවක් විය. මදක් මා දෙස බලා සිටි ඔහු මගේ උරය තදින් අල්ලා මොහොතක් හිද පිටව ගියේය. හෙදිය මට ලබා දෙමින් තිබු සේලයින් බෝතලය මාරු කරමින් උන්නාය. ඇය හුරුබුහුටි චාම් ලක්ෂන ඇති තරුණියකි. ඇගේ ඇහි බැම මදක් ඝණව පිහිටා ඇති අතර ඇස් ආලේපණ නිසා ඇගේ මුහුණ වඩාත් කැපී පෙනෙන්නට විය. 

මිස්....... අද දිනේ කවදද....? මම කවදද මෙහේට ආවේ...?

ඔයා ඇවිල්ලා අදට දින හතරක් වෙනවාග අද 23 වැනිදා....
ඇගේ හඩ කරුණිකය. ආදරණිය. ලෙන්ගතුය.

අද වගේ දවසක තමයි මමයි වෙරෝනිකයි හොරෙන් කසාද බැන්දේ.

ඇය කරමින් හුන් වැඩය මදකට නවත්වා මා දෙස බලා උන්නාය. ඇගේ මුහුණේ අව්‍යාජ සිනහාවක් දක්නට තිබිණ. ඇය මා අසලට පැමිණ මගේ හිස සෙමෙන් පිරිමැද්දාය.


පස්සේ වෙලාවක මට කියන්නකෝ ඔයාගේ වෙරෝනිකා ගැන විස්තර ටිකක්. මමත් ආසයි ඔය තරම්ම වසානාව ඇති එයා ගැන දැන ගන්න.
මදකට හෝ ඇය මා අස්වසාලීමට සමත් විය. වැස්සත් මේ සෙලයින් සහිත ඇදත් අතර දුර මට මතක නැත. මට ඒ ගැන දැන ගැන්මටද උවමනාවක් නැත. වෙරෝනිකා..... මම මේ කොහේද ඉන්නේ, මම ඉන්නේ මැරෙන්න වැටිලද? එහෙම නැතිනම් මට වෙන අනතුරක් වුණාද? වෙරෝනිකා...... මං ඔයා ගැන සිහිනයක් දකියමිනුයි හිටියේ. එත් හිටි හැටියෙම මම ඇහැරෙන්නේ ඇදක් මත. මේ නිතර මා බිය වද්දන කටුක යථාර්තයද?

අදුර හෙමෙන් හෙමෙන් හාත් පසම ගිල ගනිමින් ඇත. කෙළවරක විවෘත්තව ඇති ජනේලයෙන් සිසිල් සුළගක් විත් මගේ කෙඩෙත්තු ගතිය මදකට හෝ නිවා දමමින් සිටියි. සුළගේ එහේ මෙහේ නටන ජනේල් තිරය අතරින් කෙළවරක් නැති අහස් ඉම රත් පාටින් බබළනු මට පෙනෙයි. මෙවන්ම වු සැදෑවක දින සියයෙන් හැදු පාළමක් යටදී මම ඔයාව සිප ගත්තා ඔයාට මතකද? යනෙන දෙනොදහකගේ වපර ඇස් තිබුණේ අපි වෙතටම නාභි ගත වෙලා. ඔයා මාව තල්ලු කරලා දලා මගේ ඇකයෙන් මිදිලා දිව්වා මතකද? එතැනින් ගිය හැට පැනපු අංකල් කෙනෙක් මට ඇහෙන නැහෙන ගාණට කිව්වේ වනචර හැත්ත කියලා. අංකල්ගේ ඇරියස් මගෙන් කවර් කර ගන්න හදන එකට මට අංකල් ගැන දුක හිතුනා. එහෙත් අද අපි කෙළවරක් හොයාගෙන ඇත. ඔයා මගෙන් ඈතටම පියාඹලා යන්න තිරණයක් අරං එක්කෝ මෙහෙම විදවන එක ඔයාට ඇති වෙලා වෙනත් වේදනා පථයකට ඔයා මාරු කරගෙන. එතැන් පටන් මම ඉබාගාතයේ සරන්නෙකු සේ සැරි සරන්නෙමි. මම යන අතක් ගැන මමද නොදැන උන්නෙමි. ඔයාට ලියපු කවි සීතලම රෑක ඔක්කෝම ගොඩ ගහලා ගිණි තියලා මම ගිණි තැපුවා. එතැන් ඉදන් මම ඔයාට ලියන එක නැවැත්තුවා. මගේ වචන වලින් වෙනත් ගැහැණුන් සන්තර්පනය ලබනවාට ඔයා අකමැති නිසාම මම මගේ හිත වාන් දා ගැන්ම අත්හිටෙව්වා. හිස් වෙච්ච ජිවිත මා ඉදිරියේ ලෙහා දමා මගේ වචන වලින් ඔවුන් ආයෙමත් ඔවුන්ගේ ජිවිතය පුරව ගනිමින් හිටියා. මම හිතුවේ එක පිං අතේ වැඩක් කියලා. එත් ඔයා කිව්වේ එක සල්ලාළකමක් කියලා. ඒ හින්දම මං පිං කරන එකත් නවත්වලා දැම්මා.

ගණ අදුරට යට වෙමින් තිබු මගේ කාමරයේ විදුලි ආලෝකය දල්වාගෙනම නර්ස් ඇතුලට ආවේ බෙහෙත් තැබු බන්දේසියක් අතැතිව ඇය නැවතුනේ මා අසලමය.

ඉතිං කොහොමද ඔයාට
මම මද සිනහවක් ආයාසයෙන් නංවා ගතිමි.

ඇයි ඔයා සිය දිවි හානිකර ගන්න උත්සහා කළේ.

මගේ ඇස් උඩ ඉන්දවිය. ඇය මේ කියන්නේ මොනවාද? මම එහෙම දෙයකට කිසිවිටෙක් නොපෙළඹුණෙමි. ඇය උන්නේ මගේ බෙහෙත් පිරික්සමිනි. මම දෙතුන් විටක් ඇගේ මුහුණ දෙස එක එල්ලයේ බලා සිටියද ඇය තම කාර්යයේම නිරත වී උන්නාය. 


මම එහෙම දෙයක් කර ගන්න හැදුවේ නැහැ.....
ඇය එක්වරම සිනහා වෙන්නට පටන් ගත්තාය. ඇගේ සිනහා හඩට මට යකා අරූඪ විය. ඒ බැව දැණිදෝ කොහේද ඇය ඒ වෙනුවෙන් මගේ සමාව ඉල්ලා සිටියාය.

ඒ වුණාට ඔයා පාළමකින් පල්ලෙහාට පනින්න උත්සහා කරන වෙලාවේ ඒක දැකලා තමයි මනුස්සයෙක් ඔයාව ඉස්පිරිතාලයට ගෙනත් ඇරවලා තියෙන්නේ. වෙලාවට ලොකු තුවාලයක් මුකුත් නැහැග කකුල තමයි.
මම ක්ෂණයකින් පොරෝණය මෑත් කර මගේ වම් කකුල දෙස බැලුවෙමි. විලුබේ සිට දණ හිස දක්වා එය වෙලා ඇත. වම් කකුලක් මට තියේනවාද කියා නොදැනෙයි. මම අතිශය කම්පාවකින් යුතුව ඇය දෙස බැලුවෙමි. ඇය ඉන්ජෙක්ෂන් කටුවක් ගෙන මගේ වම් අත පුළුන් කැබැල්ලකින් පිරිසිදු කර බෙහෙත් එන්නත් කලාය. 

බයවෙන්න එපා දවස් තුන හතරක් යනකං ඇදෙන් බහින් බැරි වෙයි.

ඇය බන්දේසියත් රැගෙන යාමට සැරසෙමින් උන්නාය.

මිස්....... වෙරෝනිකා දන්නවද මේ කිසි දෙයක්......???

තවදුරටත් ඇයගේ අව්‍යාජ සිනහාව මා වසග කරමින් සිටියි. ඇය ඇස් වලින් නැතැයි කියා දොර තදින් වසාගෙන නික්ම ගියාය.

සිහිනයකට එහා පැත්තේ යථාර්තය මුණ ගැසීම බරපතල හදිසි අනතුරක්. මම දිගු හුස්මක් හෙලා මගේ ලය සැහැල්ලු කර ගතිමි. මරණය කිසිවිටෙක් අපි අපෙක්ෂා කරන මොහොත තුලදී නොපැමිනෙන බැව් නම් මම දැං හොදා කාරවම දනිමි. 
එත් වෙරෝනිකා..... ඔයා තියපු හිස් තැනත් එක්ක මං දැං කල් ඉකුත් වෙන්න අරගෙන.








1 comment:

  1. කාලෙකට පස්සේ පුරුදු ලිවිල්ලට ඇවිත්
    ඇත්තටම හරිහැටි මතකයක් නැති අපි කරපු දේවල් වල වේදනවා කොයි කාලේකදි කොහොම විඳලා ඉවර වෙයිද කියලා කාටද කියන්න පුළුවන්

    ReplyDelete